1 රාජාවලිය 14:21-31

1 රාජාවලිය 14:21-31 SROV

සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් යූදාහි රජකම් කෙළේය. රෙහොබොවම් රජ වෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. යූදාවරුද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමුන් කළ පාපවලින් තමුන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන්වහන්සේ කෝපකළෝය. ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය; සොදාමියයෝද දේශයෙහි සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ප්‍රකාරයට කළෝය. තවද රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය. රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය. රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා උසුලාගන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය. රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය. රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරනු ලැබුවේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහුගේ පුත්‍රවූ අබියාම් ඔහු වෙනුවට රජවුණේය.