1 රාජාවලිය 11:11-31

1 රාජාවලිය 11:11-31 SROV

එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: නුඹ මාගේ ගිවිසුමද මා නුඹට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි. එහෙත් නුඹේ පියවූ දාවිත් නිසා මම නුඹේ දවස්වලදී ඒක නොකොට නුඹේ පුත්‍රයාගේ අතින් ඒක පැහැරගන්නෙමි. නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක. තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි. එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය. (මක්නිසාද යෝවාබ්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඒදොම්හි සියලු පිරිමින් සිඳදමනතුරු එහි හමාසයක් නැවතුණෝය.) නුමුත් හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලාගියෝය; මෙකල හදද් කුඩා ළමයෙක්ව සිටියේය. ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ. ඵාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිය බැවින් තමාගේ භාර්යාවගේ සහෝදරී වන තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහුට භාර්යාකොට පාවාදුන්නේය. තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහු නිසා ගෙනුබත් නම්වූ පුත්‍රයා වැදුවාය, තාපෙනෙස් ඵාරාවෝගේ ගෘහයේදී ඔහු කිරෙන් වැරෙව්වාය. ගෙනුබත් ඵාරාවෝගේ ගෘහයෙහි ඵාරාවෝගේ පුත්‍රයන් අතරේ සිටියේය. දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපුණු බවත් යෝවාබ් සේනාපතියා මළ බවත් හදද් මිසරයේදී අසා: මාගේ රටට යන්ට මා හැරිය මැනවයි ඵාරාවෝට කීවේය. එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: නුඹේ රටට යන්ට හදන්නේ මා ළඟ නුඹට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය. දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය. ඔහු දාවිත් ශෝබායේ මනුෂ්‍යයන් මරාදමන කල තමා ළඟට මිනිසුන් රැස්කරගන හමුදාවක අධිපතියා වුණේය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසයකරමින් දමස්කයෙහි රජකම්කළෝය. හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්‍රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්‍රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකම්කෙළේය. තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය. ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය. යෙරොබොවම් වනාහි බලසම්පන්න මනුෂ්‍යයෙක් විය. සාලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙක් බව දැක යෝසෙප්ගේ වංශයට නියමවූ බර වැඩ සියල්ල කෙරෙහි ඔහු පත්කෙළේය. ඒ කාලයේදී යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලොනීය අහියානම් අනාගතවක්තෘට ඔහු මගදී සම්බවිය; ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය. අහියා තමා ඇඳගන සිටිය අලුත් සළුව අල්වා කෑලි දොළොසකට ඉරා, යෙරොබොවම්ට කථාකොට: නුඹ කෑලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන නුඹට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.