1 කොරින්ති 7:17-38
1 කොරින්ති 7:17-38 SROV
නුමුත් ස්වාමීන්වහන්සේ එක් එක්කෙනාට බෙදාදුන් ප්‍රකාරයටද එක් එක්කෙනාව දෙවියන්වහන්සේ කැඳෙවු ප්‍රකාරයටද හැසිරේවා. සියලු සභාවලදී මෙසේ නියමකරමි. යමෙක් චර්මඡේදිතව කැඳවනලද්දේද? ඔහු අචර්මඡේදිත නොවේවා. යමෙක් අචර්මඡේද්‍යයේදී කැඳවනලද්දේද? ඔහු චර්මඡේදිත නොවේවා. දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම මිස චර්මඡේද්‍යය කිසිත් නැත, අචර්මඡේද්‍යයද කිසිත් නැත. යම් පදවියක එක් එක්කෙනා කැඳවනු ලැබුයේද එහිම ඔහු පවතීවා. නුඹ වහලෙක්ව සිටියදී කැඳවනු ලැබුයෙහිද? ඒ ගැන නොසලකන්න. නුමුත් නිදහස්වන්ට පුළුවන් නම් ඒ ප්‍රයෝජනය ලබාගන්න. මක්නිසාද වහලෙක්ව සිටියදී ස්වාමීන්වහන්සේ තුළ කැඳවනු ලැබූ තැනැත්තේ ස්වාමීන්වහන්සේගේ නිර්දාසයාය. එසේම නිර්දාසව සිටියදී කැඳවනු ලැබූ තැනැත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙක්ය. නුඹලා මිලේට ගන්නාලද්දහුය; මනුෂ්‍යයන්ගේ වහල්ලු නොවෙන්න. සහෝදරයෙනි, යම් පදවියක එක් එක්කෙනා කැඳවනලද්දේද එහිම ඔහු දෙවියන්වහන්සේ වෙත පවතීවා. කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි. මේ කාලයේ තිබෙන විපත්තිය නිසා මේක යහපතැයි සිතමි, එනම්, මනුෂ්‍යයෙකුට ඔහු සිටින ලෙසම සිටීම හොඳය. නුඹ භාර්යාවකට බැඳී සිටින්නෙහිද? නිදහස්වෙන්ට නොසොයන්න. භාර්යාවකුගෙන් නිදහස්ව සිටිනෙහිද? භාර්යාවක් නොසොයන්න. එහෙත් විවාහවුවත් එයින් නුඹට පාපයක් නැත; කන්‍යාවක්ද විවාහවුවත් එයින් ඈට පාපයක් නැත. එසේවී නුමුත් එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය. මම නුඹලා එයින් වලක්වන්ට කැමැත්තෙමි. නුමුත් සහෝදරයෙනි, කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන්ද; අඬන්නෝ නාඬන්නන් මෙන්ද, ප්‍රීතිවන්නෝ ප්‍රීති නොවන්නන් මෙන්ද, මිලේට ගන්නෝ අයිති නැත්තන් මෙන්ද; මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය. නුඹලාද කරදර නැතුව සිටිනවාට කැමැත්තෙමි. විවාහ නොවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නේය. විවාහවූ තැනැත්තේ භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නේය. එසේම භාර්යාව හා කන්‍යාව අතරෙහිද වෙනසක් ඇත. විවාහ නොවූ තැනැත්තී ශරීරයෙන්ද ආත්මයෙන්ද ශුද්ධව සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නීය. නුමුත් විවාහවී සිටින තැනැත්තී පුරුෂයා සතුටුකරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නීය. මා මෙසේ කියන්නේ නුඹලාට මලපතක් තබන පිණිස නොව, සුදුසු දේ සඳහාත්, නුඹලා වියවුල් නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි යෙදීසිටින පිණිසත්, නුඹලාගේම ප්‍රයෝජනයටය. නුමුත් යමෙක් තමාගේකන්‍යාව ගැන තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බව සිතේ නම්, ඈ ඇගේ තරුණ කාලය පසුකොට සිටී නම්, ඕනෑකමක්ම තිබේ නම්, ඔහු කැමති දෙයක් කෙරේවා; ඔහු පව් නොකරයි; ඔව්හු විවාහවෙත්වා. එසේවී නුමුත් ස්ථිර සිතින් යුක්තව සිටින්නාවූද, ඕනෑකමක් නැත්තාවූද, තමාගේම කැමැත්ත ගැන බලය ඇත්තාවූද, තමාගේ කන්‍යාව රක්ෂාකරන්ට තමාගේ සිතින් නියමකරගත්තාවූද තැනැත්තේ යහපතක් කරයි. මෙසේ තමාගේ කන්‍යාව විවාහකරදෙන තැනැත්තේ යහපතක් කරයි; විවාහකර නොදෙන තැනැත්තේ වඩා යහපතක් කරයි.

