එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කර, සෙනඟට මෙසේ කියන්නැ යි වදාළ සේක: “සවන් දෙන්න; ජීවත්වීමේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි. මේ නගරයේ සිටින අය කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නෝ ය. එහෙත්, ඔබ වටලාගෙන සිටින බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට යටත් වන්නෝ ජීවත් වන්නෝ ය. ඔව්හු පණ ගළවාගෙන බේරී යන්නෝ ය.