ශුද්ධවර මාක් 3
3
අතක් පණ නැති මිනිසා
(මතෙ 12:9-14; ලූක් 6:6-11)
1තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. 2එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ. 3උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, “නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා 4ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ. 5උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය. 6එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.
මුහුදුබඩ රැස් වූ මහ පිරිස
7ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද 8ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ. 9#මාක් 4:1; ලූක් 5:1-3 සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. 10එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. 11අශුද්ධාත්මයෝ ද උන් වහන්සේ දුටු හැම විට ම උන් වහන්සේගේ පාමුල වැඳ වැටී, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි මොරගා කී හ. 12තමා කවරෙක් දැ යි හෙළි නොකරන ලෙස උන් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.
ප්‍රේරිතයන් දොළොස් දෙනා පත් කිරීම
(මතෙ 10:1-4; ලූක් 6:12-16)
13උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය. 14උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්, 15දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇති ව සිටින පිණිසත් ය, 16එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද, 17‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද 18ඇන්ඩෘ සහ පිලිප් ද බර්තොලමෙව් සහ මතෙව් ද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ් ද තද්දෙවුස් සහ අන්ත ජාතිවාදී සීමොන් ද 19උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.
ජේසුස් වහන්සේ සහ දුෂ්ටාත්මාධිපතියා
(මතෙ 12:22-32; ලූක් 11:14-23; 12:10)
20උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. 21උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, “උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.
22 #
මතෙ 9:34; 10:25 ජෙරුසලමෙන් ආ විනයධරයෝ, “මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, “දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ. 23එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: “සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද? 24යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. 25යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය. 26සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. 27එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි.
28“සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය. 29#ලූක් 12:10 එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.” 30මෙසේ වදාළේ, “උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි.
ජේසුස් වහන්සේගේ මෑණියන් සහ සහෝදරයෝ
(මතෙ 12:46-50; ලූක් 8:19-21)
31එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ. 32සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, “අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ. 33උන් වහන්සේ උත්තර දෙමින්, “මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්, 34තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, “මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ! 35දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.
Atualmente Selecionado:
ශුද්ධවර මාක් 3: NRSV
Destaque
Copiar
Comparar
Compartilhar
Quer salvar seus destaques em todos os seus dispositivos? Cadastre-se ou faça o login
Ceylon Bible Society