උත්පත්ති 35
35
ජාකොබ්ට ආශීර්වාද කිරීම
1 #
උත් 28:11-17 දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කොට, “නැඟිට, බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න, නුඹේ සොහොයුරු ඒසව්ගෙන් නුඹ පලායද්දී නුඹට දර්ශනය වූ දෙවියන් වහන්සේට පූජාසනයක් එහි සාදන්නැ”යි වදාළ සේක. 2එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්‍ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න. 3එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය. 4ඔවුන් ද, තමන් ළඟ තිබූ සියලු ම විදේශීය දේවතා රූප හා ඔවුන් පැළඳ හුන් කර්ණාභරණ ද ජාකොබ්ට දුන් විට ඔහු ෂෙකෙම් නම් ස්ථානය අසල තිබූ ආලෝන ගස යට ඒවා සැඟවී ය.
5ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය. 6මෙසේ ජාකොබ් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද කානාන් දේශයේ ලූස් හෙවත් බෙතෙල් නම් ස්ථානයට පැමිණියෝ ය. 7එහි දී ඔහු පූජාසනයක් තනා, එම ස්ථානයට එල්-බෙතෙල් යන නම තැබී ය. මන්ද, ඔහු සිය සොහොයුරා වෙතින් පලායන විට, එහි දී දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වූ බැවිනි. 8තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය.
9ජාකොබ් මෙසොපොතේමියාවෙන් මෙසේ හැරී එන විට දෙවියන් වහන්සේ නැවතත් ඔහුට දර්ශනය වී ආශීර්වාද කළ සේක. 10#උත් 32:28 උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී. 11#උත් 17:4-8 තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය. 12මම ආබ්‍රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා 13උන් වහන්සේ ඔහු සමඟ කතා කළ ස්ථානයේ දී, ඔහු වෙතින් ඉවත් ව ගිය සේක. 14#උත් 28:18-19 ඉන්පසු ජාකොබ් උන් වහන්සේ සමඟ කතා කළ ස්ථානයෙහි සිහිවටනයක්, එනම්, ගලින් කළ සිහිවටනයක් ඉදිකොට, එය මත පානීය පූජාව ඔප්පු කොට තෙල් ද වත් කෙළේ ය. 15තවද, දෙවියන් වහන්සේ තමා සමඟ කතා කළ ස්ථානයට ඔහු බෙතෙල් යන නම තැබී ය.
රාකෙල්ගේ මරණය
16ඔව්හු බෙතෙල් සිට නික්ම ගියහ. එහෙත් ඔවුන් එප්‍රාත් නම් ස්ථානයට පැමිණෙන්නට මඳක් දුර තිබිය දී, රාකෙල්ට ප්‍රසව වේදනා ඇති වී, එය උග්‍ර විය. 17මෙලෙස ඈ උග්‍ර ලෙස ප්‍රසව වේදනා විඳින විට, වින්නඹු මාතාව ඈට කතා කොට, “බිය නොවන්න, ඔබට ලැබෙන්නේ තවත් පුත්‍රයෙක් ය”යි කීවා ය. 18එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.
19මෙසේ රාකෙල් මළ පසු, එප්‍රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය. 20ජාකොබ් ද ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කෙළේ ය. අද දක්වා ම රාකෙල්ගේ සොහොන මත සිහිවටනය ඇත. 21ඉශ්රායෙල් ගමන් කොට, මිග්දාල්-එදෙර් නම් ස්ථානයට එහා, තම කඳවුර පිහිටුවාගත්තේ ය.
රූබන්ගේ අනාචාරය
22 #
උත් 49:4 තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය.
ජාකොබ්ගේ පුත්‍රයෝ
(1 වංශා 2:1-2)
ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ. 23ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය. 24රාකෙල්ගේ පුත්‍රයෝ නම් ජෝසෙප් සහ බෙන්ජමින් ය. 25රාකෙල්ගේ සේවිකාව වන බිල්හාගේ පුත්‍රයෝ නම් දාන් සහ නප්තලී ය. 26ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්‍රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.
ඊසාක්ගේ මරණය
27 #
උත් 13:18 ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය. 28ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන් 29ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.
Voafantina amin'izao fotoana izao:
උත්පත්ති 35: NRSV
Asongadina
Dika mitovy
Mampitaha
Hizara
Tianao hovoatahiry amin'ireo fitaovana ampiasainao rehetra ve ireo nasongadina? Hisoratra na Hiditra
Ceylon Bible Society