රෝම 2
2
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය
1එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන් ම වරදකරුවකු ලෙස තීන්දු කර ගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේ ම කරන බැවිනි. 2එබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන්නේ සත්‍යයට අනුව බැව් අපි දනිමු. 3එම්බා මනුෂ්‍යය, එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එය ම කරන කල, දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ඔබ ගැලවේයයි ඔබ සිතනවා ද? 4නැතහොත්, දෙවියන්වහන්සේගේ කරුණා-අරමුණ, පසුතැවිල්ල වෙත ඔබ යොමු කිරීම බැව් වටහා නො ගෙන, උන්වහන්සේගේ කරුණාවේත්, ක්ෂාන්තියේත්, ඉවසීමේත් පොහොසත්කම සුළු කොට තකනවා ද?
5එහෙත් ඔබේ තද මුරණ්ඩු, පසුතැවිලි නො වන හදවත නිසා ඔබ කරන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරවු කෙරෙන උදහසේ දවස සඳහා උදහස ගොඩ ගසා ගැනීමකි. 6උන්වහන්සේ එකිනෙකා කළ දේ අනුව පල විපාක දෙනු ඇත.#2:6 ගීතා 62;12; හිතෝප 24;12 7ඉවසීමෙන් යුතු ව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත. 8එහෙත් ආත්මාර්ථයෙන් යුතු ව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ. 9නපුර කරන හැම මනුෂ්‍යයකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ. 10එහෙත් හොඳ වැඩ කරන හැම කෙනකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද තේජසත්, ගෞරවයත්, සාමයත් අත් වේ. 11මන්ද දෙවියන්වහන්සේ පක්ෂ-භජනයක් දක්වන්නේ නැත.
12මන්ද ව්‍යවස්ථාව නැතිව පව් කළ සැවොම, ව්‍යවස්ථාව නැතිව විනාශ වන්නෝ ය. ව්‍යවස්ථාව යටතේ සිට පව් කළ සැවොම, ව්‍යවස්ථාවෙන් විනිශ්චය කරනු ලබන්නෝ ය. 13මන්ද දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වන්නේ ව්‍යවස්ථාවට සවන් දෙන්නන් නො වේ; ධර්මිෂ්ඨ කරනු ලබන්නේ ව්‍යවස්ථාව පිළිපදින්නන් ය. 14සැබවින් ම, ව්‍යවස්ථාව නැති අන්‍ය-ජාතීන් එහි නියමයන් නිසඟයෙන් පිළිපදින කල, ව්‍යවස්ථාව ඔවුන් සතු ව නොමැති වුවත්, ඔවුන් ම ඔවුන්ට ව්‍යවස්ථාවක් වී තිබේ. 15ඔවුන්ගේ හෘදය සාක්ෂියේ සාක්ෂි දැරීමෙන් හා තමන්ට ම දොස් තබමින් හෝ තමන් නිදොස් කරමින් නැගෙන සිතුවිලි මගින්, ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ හදවත්හි ලියැවී ඇති වග ඔවුහු පෙන්වා දෙති. 16මගේ ශුභාරංචියට අනුව ඒ දවසේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් දෙවියන්වහන්සේ මිනිසුන්ගේ රහස් විනිශ්චය කරන සේක.
යුදෙව්වා හා ව්‍යවස්ථාව
17එහෙත් ඔබ යුදෙව්වෙකියි කියා ගනිමින්, ව්‍යවස්ථාවේ එල්ලී, දෙවියන්වහන්සේ තුළ පාරට්ටු කර ගනිමින්, 18ව්‍යවස්ථාවෙන් ගුරුහරුකම් ලද බැවින්, උන්වහන්සේගේ කැමැත්ත කුමක් ද කියාත්, පිළිගත යුතු වඩා උතුම් දේ කවරේ ද කියාත් ඔබ දනී නම්, 19තවද මේ ගැන ඔබට සහතික නම්, එනම් අන්ධයනට ඔබ මග පෙන්වන්නෙක් ද අඳුරේ සිටින්නන්ට පහනක් ද 20දැනුම් තේරුම් නැති අයට උපදේශකයෙක් ද බාලයනට ගුරුවරයෙක් ද වේ නම්, (මන්ද ඥානයේත්, සත්‍යයේත් මූර්තිය ඔබට ඇත්තේ ව්‍යවස්ථාව තුළ ය.) 21එහෙම නම්, අනුන්ට උගන්වන ඔබ, ඔබට ම උගන්වා ගන්නේ නැති ද? සොරකමට එරෙහිව දේශනා කරමින්, ඔබ සොරකම් කරනවා ද? 22කිසිවකුත් පරදාර සේවනයේ ගැලිය යුතු නැතැයි කියන ඔබ පරදාර සේවනයේ යෙදෙනවා ද? පිළිම වන්දනාව පිළිකුල් කරන ඔබ, දේවාල කොල්ලකනවා ද? 23ව්‍යවස්ථාව ගැන පාරට්ටු කර ගන්නා ඔබ, එම නීතිය කඩමින්, දෙවියන්වහන්සේට නිග්‍රහ කරනවා ද? 24මන්ද ලියා ඇති පරිදි, “දෙවියන්වහන්සේගේ නාමය අන්‍ය-ජාතීන් අතරේ අපහාසයට ලක් ව තිබෙන්නේ ඔබ නිසා ය.”#2:24 යෙසා 52;5; එසකි 36;22
25ව්‍යවස්ථාවට ඔබ කීකරු වේ නම්, චර්ම-ඡේදනයෙහි සැබෑවට ම වටිනාකමක් ඇත. එහෙත් ඔබ ව්‍යවස්ථාව කඩ කරනවා නම්, චර්ම-ඡේදනය ඔබට චර්ම අඡේදනයක් වෙයි. 26එහෙම නම්, චර්ම-ඡේදනය නො ලද්දකු ව්‍යවස්ථාවේ නියෝග පිළිපදිනවා නම්, ඔහුගේ චර්ම අඡේදනය, චර්මඡේදිත සේ නො සැලකේ ද? 27මෙසේ, කායික ව චර්මඡේදිත නො වූ නමුදු, ව්‍යවස්ථාව පිළිපදින්නා, නීති ලියවිල්ලත්, චර්ම-ඡේදනයත් ඇති, එහෙත් ව්‍යවස්ථාව කඩන ඔබ විනිශ්චය කරනු ඇත.
28පිටස්තර ව පමණක් කිසිවකු යුදෙව්වරයකු වන්නේ නැත. එසේ ම, චර්ම-ඡේදනය ද පිටස්තර වූ ශාරීරික වූ එකක් පමණක් නො වේ. 29යුදෙව්වා, යුදෙව්වකු වන්නේ ඇතුළාන්තයෙනි; චර්ම-ඡේදනය, ආත්මයාණන් මගින් හදවතේ කෙරෙන ඡේදනයක් මිස, වචනාර්ථයට අනුව කැපුමක් නො වේ. එබඳු තැනැත්තාගේ පැසසුම මිනිසුන්ගෙන් නො ව, දෙවියන්වහන්සේගෙනි.
Nke Ahọpụtara Ugbu A:
රෝම 2: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.