රෝම 15
15
1ශක්තිමතුන් වූ අප, අප ම සතුටු කර නො ගෙන, දුර්වල අයගේ දුර්වලතා ඉවසා සිටීම යුතු ය. 2අප හැම කෙනකු ම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය. 3මන්ද, “ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට පතිත විය”#15:3 ගීතා 69;9 යනුවෙන් ලියා ඇති පරිදි: ක්‍රිස්තුස්වහන්සේ ද තමා ම සතුටු කර ගත්තේ නැත. 4මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය; ඉවසීම මගින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මගින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.
5ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අනුකූලව, එකිනෙකා සමඟ සමඟියකින් ජීවත්වීමට ඉවසීමේත්, ධෛර්යයේත් දෙවියන්වහන්සේ ඔබට වර දෙන සේක්වා! 6ඒ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේට හා පියාණන්වහන්සේට ඔබ හැම එක් ව, එක කටහඬින් මහිමය දෙන පිණිස ය.
7එබැවින් දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබ පිළිගත් සේ ම, ඔබත් එකිනෙකා පිළිගන්න. 8මා ඔබට කියන්නේ, ක්‍රිස්තුස්වහන්සේ චර්මඡේදිතයින්ගේ සේවකයකු වූයේ, දෙවියන්වහන්සේගේ සත්‍යවාදීත්වය දක්වන පිණිස බව ය; එසේ කළේ, ආදි පියවරුනට දෙන ලද පොරොන්දු ස්ථිර කරන පිණිසත්, 9උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය:
“එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි,
ඔබගේ නාමයට ගී ගයන්නෙමි.”#15:9 2 සාමු 22:50; ගීතා 18;49
10නැවතත්,
“එම්බා අන්‍ය-ජාතීනි, උන්වහන්සේගේ ජනයා සමඟ ප්‍රීති වන්න.”#15:10 ද්වි 32:43
11නැවතත්,
“සියලු අන්‍ය-ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න;
සියලු ජනයා උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!”#15:11 ගීතා 117;1
12නැවතත් යෙසායා මෙසේ කියයි,
“ජාතීන්ට රජකම් කිරීමට නැගිටින,
යෙස්සේගේ මුල වූ කෙනෙක් පැමිණෙනු ඇත.
අන්‍ය-ජාතීන්ගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ වනු ඇත.”#15:12 යෙසා 11;10
13ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!
පාවුල්ගේ කැඳවීම
14මා සහෝදරයිනි, ඔබ යහ ගුණයෙන් පිරී, දැනගැන්මෙන් සපිරි, එකිනෙකාට උපදෙස් දීමෙහි සමත් ව සිටින වග මම ඒත්තු ගෙන සිටිමි. 15එහෙත් සමහර කරුණු ඔබට යළි සිහි ගන්වමින්, එඩිතර ව ම මා ඔබට ලියුවේ දෙවියන්වහන්සේ මට දෙන ලද අනුග්‍රහයට අනුව ය. 16ඒ අනුව දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ පූජක මෙහෙවර තුළ, අන්‍ය-ජාතීන් උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයකු කරනු ලැබ සිටින්නේ, අන්‍ය-ජාතිකයින් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබ, දෙවියන්වහන්සේට පිළිගත මනා පූජාවක් වන පිණිස ය.
17එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට වූ මගේ සේවය ගැන ආඩම්බර වීමට හේතු මට ඇත. 18අන්‍ය-ජාතීන් කීකරුකමට ගෙන ඒමට, මා ලවා ක්‍රිස්තුස්වහන්සේ ඉටු කළ කාරිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් කතා කිරීමට එඩිතර නො වෙමි. වචනයෙන් ද ක්‍රියාවෙන් ද 19අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි. 20අන් කෙනකු දැමූ අත්තිවාරමක් මත ගොඩ නැගීමට සිදු නො වන පිණිස, හැම විට මගේ අභිලාෂය වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන් නො වූ තැන්වල ශුභාරංචිය දේශනා කිරීම ය. 21ඒ, ලියා ඇති පරිද්දෙනි:
“උන්වහන්සේ ගැන කිසි දා දන්වනු නො ලැබූ අය දකිනු ඇත.
තවද උන්වහන්සේ ගැන කිසි දා නෑසූ අය වටහා ගනු ඇත.”#15:21 යෙසා 52;15
22ඔබ වෙත ඒමෙන් බොහෝ වර මා වළකන ලද්දේ ඒ හේතුව නිසා ය.
රෝමයට යෑමේ පාවුල්ගේ සැලැස්ම
23එහෙත් දැන්, තවදුරටත් මෙපෙදෙස්හි මට ඉඩක් ඉතිරි ව නැති නිසාත්, බොහෝ කලෙක පටන් ඔබ වෙත එන්නට මා ආශාවෙන් සිටි නිසාත්, 24මා, ඔබ පසු කර ස්පාඤ්ඤයට යන ගමනේදී ඔබ හමුවීමටත්, එසේ මද කලක් ඔබගේ ඇසුරේ ප්‍රීතිය විඳි පසු, එතැන් පටන් මගේ ගමනට ඔබගෙන් උපකාර ලැබීමටත් බලාපොරොත්තු වෙමි. 25කෙසේ වුවත් දැන්, යෙරුසලම් ශුද්ධවතුනට සහනාධාර රැගෙන, එහි යමින් සිටිමි. 26යෙරුසලම්හි සිටින ශුද්ධවතුන් අතර දිළිඳු අයට සම්මාදමක් දීමට මකිදෝනිය සහ අකාය සභා මනාප වූහ. 27ඔවුන් එය කළේ කැමැත්තෙන් ම ය. ඇත්තෙන් ම ඔවුන්ට දීමට ඔවුන් ණය ගැති ය. මන්ද ඔවුන්ගේ ආත්මික ආශිර්වාදවලට අන්‍ය-ජාතීන් පංගුකාර වූවා නම්, තම ද්‍රව්‍යමය ආශිර්වාද ඔවුන් හා බෙදා හදා ගැනීම යුතු ය. 28එබැවින් මේ කාරිය නිම වූ පසු, එකතු වූ මේ පල ඔවුන්ට බාර දුන් පසු, මා ස්පාඤ්ඤය බලා යන්නේ, ඒ ගමනේදී ඔබත් බැහැදකිමිනි. 29මා ඔබ වෙත එන කල මා එන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ද රැගෙන බව මම දනිමි.
30සහෝදරයිනි, අපගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසාත්, ආත්මයාණන්වහන්සේගේ ප්‍රේමය නිසාත් මා උදක් ම ඔබෙන් ඉල්ලන්නේ, මා උදෙසා දෙවියන්වහන්සේ වෙත යාච්ඤාවෙන් මා කරන අරගලයේදී මා හා එක් වන ලෙසයි. 31එනම්, යුදයේ නො ඇදහිලිවතුන්ගේ අතවරවලින් මා ගලවන පිණිසත්, යෙරුසලම උදෙසා මගේ උපස්ථානය එහි ශුද්ධවන්තයින් විසින් පිළිගනු ලබන පිණිසත් ය. 32එසේ කළ යුත්තේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ප්‍රීතියෙන් යුතු ව ඔබ වෙත එන්නටත්, ඔබගේ සමාගමෙන් මා ප්‍රබෝධ වන පිණිසත් ය. 33සාමයේ දෙවියන්වහන්සේ ඔබ හැම සමඟ වන සේක්වා! ආමෙන්.
Nke Ahọpụtara Ugbu A:
රෝම 15: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.