සෙෆනියා 3:15-19
සෙෆනියා 3:15-19 SCV
ස්වාමින්වහන්සේ ඔබේ දඬුවම ඉවත් කළ සේක; උන්වහන්සේ ඔබේ සතුරන් ආපසු හැරවූ සේක. ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය. යළි කිසි කල කිසි ආපදාවකට ඔබ බිය නො වේ. ඒ දවසේ ඔවුන් යෙරුසලමට මෙසේ කියනු ඇත: “එම්බා සියොන, බිය නො වන්න; ඔබගේ අත් එල්ලා නො වැටේවා. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරෙහි ය. උන්වහන්සේ ගලවන්නට බලවත් තැනැන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ ගැන ඉමහත් ව ප්‍රමෝද වන සේක; උන්වහන්සේ තම ප්‍රේමයෙන්, ඔබට තවත් තරවටු නො කරන සේක. උන්වහන්සේ ගී ගයමින්, ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.” “නියමිත මංගල්‍ය පිළිබඳ ශෝක වන්නන් ඔබ වෙතින් මම ඉවත් කරන්නෙමි. ඒවා ඔබට බරකි; අවලාදයකි. ඔබට පීඩා කළ සියල්ලන් සමඟ ඒ දවසේ මම ගණන් බේරන්නෙමි. මම කොරුන් මුදා ගෙන, විසුරුවනු ලැබූවන් රැස් කරන්නෙමි. ඔවුන් නින්දාවට පත් හැම දේශයකදී ම මම ඔවුන්ට ප්‍රශංසාවත්, ගෞරවයත් ගෙන දෙන්නෙමි.





