ගීතාවලිය 79:8-13
ගීතාවලිය 79:8-13 SCV
අපේ පියවරුන්ගේ පාප අපට එරෙහිව නො ගත මැනව; ඔබගේ දයාවන් වහ වහා අප හමුවට ඒවා; මන්ද අප සිටින්නේ, බලාපොරොත්තු රහිත අඩියක ය. පිහිට වුව මැනව, අහෝ අප ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ මහිමය උදෙසා; මිදුව මැනව අප, කමා වුව මැනව අප පාපවලට ඔබගේ නාමයේ ගෞරවය උදෙසා. “කෝ! ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොහේ දැ” යි කියන්නට ඒ විජාතීන්ට කුමට ද ඉඩ දෙන්නේ? ඔබගේ සේවකයින්ගේ ලේ හැලීම ගැන ඔවුන්ගෙන් ඔබ පළිය ගන්නා හැටි අපගේ ඇස් ඉදිරිපිට ම ජාතීන්ට පෙන්වුව මැනව. යුද සිරකරුවන්ගේ සුසුම් ලෑම ඔබ අබිමුවට පැමිණේවා! ඔබගේ ශක්තියේ බාහු බලය පා, මරණයට නියම වූවන් රැකගත මැනව. අපගේ අසල්වාසීන් ඔබ වෙත දමා ගැසූ අවලාද, හත් ගුණයකින් වැඩි කොට, ඔවුන්ගේ ම ඔඩොක්කුවට ඒවා ආපසු හැරවුව මැනව, අහෝ ස්වාමිනි. එවිට ඔබගේ ජනයා වන අපි, ඔබගේ තෘණ බිමේ බැටළුවන් වන අපි, සදහට ම ඔබට ප්‍රශංසා කරන්නෙමු; පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවතත් අපි ඔබට ප්‍රශංසා කරන්නෙමු.





