ගීතාවලිය 104:14-27
ගීතාවලිය 104:14-27 SCV
ඔබවහන්සේ ගව ආදී සතුන් සඳහා තෘණ වැඩෙන්නට සැලසූ සේක්; මිනිසාට වගා කරනට ගස් වැල් දුන් සේක; ඒවා පොළොවෙන් අහර හටගැන්වීමට ය; එනම්, මිනිසාගේ හද ඔකඳ කරන මිදි යුෂ ද ඔහුගේ වත එළිය කරවන තෙල් ද ඔහුගේ ගත සවිගන්වන ධාන්‍ය ද සඳහා ය. ස්වාමින්වහන්සේගේ ගස්, එනම්, උන්වහන්සේ සිට වූ ලෙබනොන්හි දේවදාර ගස්වලට, මනාව ජලය සැපයේ. කුරුලු-කිරිලි, ඒවායේ තම කැදලි තනා ගනිති; කොක්කු, සයිප්‍රස් ගස් තම නිවෙස් කර ගනිති. උස් ගිරි ශිඛර හිමි වල්එළුවන්ට ය; පර්වත කූට සාවුන්ගේ සුරැකුම් පොළවල් ය. ඔබ සඳු නිර්මාණ කළේ, කාල, සෘතු දක්වන්නට ය. බැස යා යුතු වේලාව හිරු දනියි. ඔබ අන්ධකාරය ගෙන එයි, එය රාත්‍රියයි, එවිට වනයේ මෘගයෝ එළියට ඇදෙති. නාඹර සිංහයෝ ගොදුර ගැන ගොරවමින්, දෙවියන්වහන්සේගෙන් තම කෑම ඉල්ලති. හිරු නැගෙනා කල උන් හීන් සැරේ ඇදී ගොස්, ආපසු අවුත් තම ලෙන් තුළ ලැග ගනිති. එවිට මිනිසා තම වැඩට පිටත් ව යයි; සවස් වන තුරු ඔහු වෙහෙස වෙයි. ඔබගේ නිමැවුම් කොතරම් අපමණ ද! අහෝ ස්වාමින්වහන්ස, ඒ සියල්ල ඔබ නිමවා ඇත්තේ ප්‍රඥාවෙනි. මේ මුළු පොළොව ඔබ මැවූ සියල්ලන්ගෙන් පිරී ඇත. අතෙකින්, අති විශාල මහා සාගරය ය, එහි ගිණිය නො හැකි තරම් මත්ස්‍ය රෑන් ය, ලොකු කුඩා ජලජ ජීවීන් ය. එහි නෞකා එහා මෙහා යයි, ක්‍රීඩා කරන්නට ඔබ සෑදූ ලෙවියාතන් ද එහි සිටී. ඒ සියල්ලෝ ඔබ දෙස බලා සිටින්නේ, නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ කෑම දෙන තෙක් ය.





