YouVersion Logo
Search Icon

හිතෝපදේශ 22:14-29

හිතෝපදේශ 22:14-29 SCV

පරදාරකම් කරන්නියගේ මුව ගැඹුරු වළකි; ස්වාමින්වහන්සේගේ උදහසට පාත්‍ර වූවෝ, එහි ඇද වැටෙති. මෝඩකම් කිරීම ළමා-විය හා බැඳී පවතී; එහෙත් ශික්ෂණයේ වේවැල එය ඔහු වෙතින් දුරු කරයි. වඩ වඩා ධනවත්වීමට දුප්පතුන් පෙළන්නාත්, ධනවතුන්ට තෑගි-බෝග පුදන්නාත් දුප්පත්කමට වැටේ. සාවධාන ව, ප්‍රඥාවතුන්ගේ උපදේශවලට සවන් දෙන්න; මා උගන්වන දෑ සිතට ගන්න. ඔබගේ තොල් අතරින් පැවසෙන ඒ හැම සූදානමින් ඔබගේ හදවතේ නිදන් කර තබා ගන්නේ නම් එය ප්‍රීති සහගත වනු ඇත. ඔබගේ විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ තබන පිණිස මම ඒවා ඔබට, අද ඔබට ම කියා දෙන්නෙමි. ඔබ උදෙසා උපදේශ තිහක් මා ලියා තිබෙනවා නො වේ ද, ඒවා දැනමුතුකමේ සහ දැනගැන්මේ උපදේශයන් ය. ඔබ මෙහි එවූ අයට විශ්වසනීය පිළිතුරු දිය හැකි වන පිණිස ඔබට සත්‍ය වූ, විශ්වසනීය වූ වචන උගන්වන්නෙමි. දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න, මන්ද ඔවුන් දුප්පත් ය; යුක්තිය පසිඳලීමේදී අසරණයා පීඩාවට පත් නො කරන්න. මන්ද ස්වාමින්වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිට, ඔවුන්ගෙන් පැහැරගත්තවුන්ගේ ජීවිතය පැහැර ගැනීමට ලක් කරන සේක. වහා කිපෙන සුළු මිනිසකු හා මිතුරු නො වන්න; නිකම්ම තරහ යන කෙනකුගේ ඇසුරට නො යන්න. නැතහොත් ඔබත් ඔහුගේ එම ගති-මාර්ග ඉගෙන, ඔබ ම උගුලක හිරවනු ඇත. උගසකට සහතික කරන්නකු නො වන්න; ණයකරුවකුට ඇපකරුවකු නො වන්න. යම් හෙයකින් ඒවා ගෙවන්නට ඔබට නො හැකි වූවොත්, ඔබේ යහන පවා ඔබෙන් උදුරාගෙන යනු ඇත. ඔබගේ මුතුන් මිත්තන් පිහිටෙවු පුරාණ මායිම් ගල් වෙනස් නො කරන්න. තමාගේ කාරියෙහි නිපුණ මිනිසකු ඔබ දුටුවා ද? ඔහු රජුන් ඉදිරියෙහි සේවය කරනු ඇත; ඔහු පහත් ජනයා ඉදිරියේ සේවය කරන්නේ නැත.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 22:14-29