YouVersion Logo
Search Icon

ගණන් 32:1-15

ගණන් 32:1-15 SCV

ගව රංචු හා එළු බැටළු රංචු අති විශාල වශයෙන් හිමි ව සිටි රූබෙන් ජනයා හා ගාද් ජනයා, යාසේර් හා ගිලියාද් යන පෙදෙස්, තම පශු සම්පතට කොතරම් උචිත දැයි දුටුවහ. එබැවින් ඔවුහු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “අටාරොත්, දීබොන්, යාසේර්, නිම්රා, හෙෂ්බෝන්, එලෙයාලේ, සෙබාම්, නෙබෝ හා බෙයොන් යන ප්‍රදේශ, එනම් ඉශ්‍රායෙල් ජනයා ඉදිරියේ ස්වාමින්වහන්සේ යටත් කර දුන් දේශය, පශු සම්පතට උචිතයි. ඔබේ සේවක අපට පශු සම්පත් ඇති බැවින්, ඔබේ ප්‍රසාදය අපට හිමි වේ නම්, ඔබේ සේවකයින් වන අපට, අපේ උරුමය වශයෙන්, මේ බිම දෙනු ලැබේවා. යොර්දානෙන් එතෙරට අප ගෙන නො යේවා” යි ඉල්ලූහ. එහෙත් මෝසෙස්, ගාද් ජනයාට හා රූබෙන් ජනයාට පිළිතුරු දෙමින්, “ඔබේ සහෝදර ජනයා යුද්ධයට යද්දී, නුඹලා මෙහි හිඳගෙන සිටින්න ද? ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී ඇති දේශයට යෑමෙන් ඔබ ඔවුන් අධෛර්යට පත් කරන්නේ මොකද? දේශය සෝදිසි කරන්නට කාදෙෂ්-බර්නේය සිට මා ඔබේ පියවරුන් පිටත් කර යැවූ කල, ඔවුන් කළේ ද මෙයමයි. ඔවුන් එෂ්කොල් මිටියාවත තෙක් ගොස්, දේශය නරඹා, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී තිබූ දේශයට ඔවුන් ඇතුළු වීම වළකමින්, ඔවුන් අධෛර්යට පත් කළා. ඒ දවසේ ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිළී, උන්වහන්සේ මෙසේ ශපථ කරමින්, දිවුළ සේක: ‘මොවුන් මුළු හදින් ම මා අනුගමන නො කළ නිසා, ඊජිප්තුවෙන් පිටත් ව ආ විසි වියැති වූත් ඊට වැඩි වූත් කිසිදු පිරිමියකු ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් මා දිවුරා පොරොන්දු වූ දේශය දකින්නේ නැත. කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් යෝෂුවා මුළු හදින් ස්වාමින්වහන්සේ අනුගමන කළ බැවින්, ඔවුන් හැර, අන් කිසිවකුත් ඒ දේශය දකින්නේ නැත.’ ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්වරුනට එරෙහිව ඇවුළුණේ ය. එබැවින් දුෂ්ටකම් කළ ඒ මුළු පරම්පරාව ම වැනසී යන තෙක්, හතළිස් වසරක් ම ඉශ්‍රායෙල්වරුනට පාළුකරයේ මංමුළා ව යෑමට උන්වහන්සේ සැලසූ සේක. “මෙන්න! දැන් නුඹලා පව්කාර පැටවුන් රංචුවක් ව, නුඹලාගේ පියවරුන්ගේ තැන ගෙන මෙතැන සිටගෙන, ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව වඩ වඩාත් ස්වාමින්වහන්සේ උරණ කරවමින්; උන්වහන්සේ අනුව යෑමෙන් නුඹලා ඉවත හැරුණොත්, උන්වහන්සේ යළිත් මේ මුළු ජනතාව ම පාළුකරයේ අත්හැර දමනු ඇත. ඔවුන්ගේ විනාශයට හේතුව නුඹලා වනු ඇතැ” යි දොස් පැවරී ය.