YouVersion Logo
Search Icon

මාර්ක් 6:1-29

මාර්ක් 6:1-29 SCV

යේසුස්වහන්සේ එතැනින් පිටත් ව, තම ගම් පෙදෙසට පැමිණි සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද උන්වහන්සේ සමඟ ගියහ. සබතේදී උන්වහන්සේ සිනගෝගයට ගොස්, ඉගැන්වීමට පටන් ගත් සේක. ඒ ඇසූ බොහෝ දෙනෙක් විස්මිත වූහ. “කොහෙන් ද මේ මිනිසා මේ දෑ ලබා ගත්තේ? කුමක් ද මොහුට දී ඇති මේ ප්‍රඥාව? මොහු අතින් කරන බලවත් ක්‍රියා කෙසේ ද? මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේ ම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේ ම ගමේදීත්, තම නෑයින් අතරින් හා ඔහුගේ ම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක. තම අත තබා එහි සිටි රෝගී ස්වල්ප දෙනකු සුව කිරීම හැර, වෙන කිසි ප්‍රබල ක්‍රියාවක් එහිදී උන්වහන්සේට කළ නො හැකි විය. ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ ගමින් ගම සැරි සරමින් ඉගැන් වූ සේක. උන්වහන්සේ දොළොස් දෙනා කැඳවා, දෙදෙනා බැගින් ඔවුන් යවමින්, අපවිත්‍ර ආත්ම කෙරෙහි ඔවුන්ට බලය දුන් සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැරයටියක් මිස රොටිවත්, ගමන් මල්ලක් හෝ ඉඟ පටියේ මුදල් හෝ නො ගෙන යෑමටත්, පාවහන් පැලඳ, එහෙත් අමතර ඇඳුමක්වත් නො ගෙන යෑමටත්” අණ කළේ ය; තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ නිවසකට ඇතුළු වන කල, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න. යම් තැනක ඔබ නො පිළිගැනේ නම් හෝ ඔබට සවන් නො දේ නම්, එතැනින් ඉවත් ව යද්දී, ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක. එබැවින් ඔවුහු පිටත් ව ගොස්, ජනයා පසුතැවිලි විය යුතු යැයි ප්‍රකාශ කළහ. ඔවුහු යක්ෂාත්මයන් බොහෝ දෙනකු දුරු කර, රෝගීන් බොහෝ දෙනකු තෙලින් ආලේප කර සුව කළහ. යේසුස්වහන්සේගේ නාමය ප්‍රසිද්ධ වූයෙන්, හෙරෝද් රජුට ද එය සැල විණි. ඇතැම් දෙනෙක්, “යොහන් බව්තීස්ත මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි කීහ. එහෙත් ඇතැම්හු, “ඔහු දිවැසිවර එලියා” යැයි කීහ. අන් සමහරු, “ආදියේ විසූ දිවැසිවරුන් මෙන් මොහුත් දිවැසිවරයෙකැ” යි ද කීහ. එහෙත් මේ දෑ ඇසූ හෙරෝද්, “මා හිස ගසා දැමූ යොහන් යළි නැගිටුවනු ලැබ ඇතැ” යි පැවසී ය. මන්ද යොහන් අල්ලා, සිර ගෙයි බැඳ දැමීමට මිනිසුන් යැව්වේ හෙරෝද් ය. ඔහු එසේ කළේ, තම සහෝදර පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ය. මන්ද ඔහු ඇය ආවාහ කර ගෙන සිටියේ ය. එබැවින්, “ඔබගේ සහෝදරයාගේ භාර්යාව ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් හෙරෝද්ට පවසා තිබිණි. එහෙයින් හෙරෝදියස්, යොහන් ගැන කේන්තියෙන් ඔහු මරා දැමීමට ඉටාගත්තා ය. එහෙත් ඇයට එය කළ නො හැකි වූයේ, යොහන් දැහැමි, ශුද්ධ මනුෂ්‍යයකු බව දැන, හෙරෝද් ඔහුට බය ව, ඔහු ආරක්ෂා කළ නිසා ය. යොහන්ට සවන් දීමේදී හෙරෝද් මහත් සේ ව්‍යාකූල වූ නමුත්, ප්‍රීතියෙන් ඔහුට සවන් දුන්නේ ය. හෙරෝද් තම උපන් දින, තම අධිපතීන්ට ද හමුදාපතීන්ට හා ගලීලයේ ප්‍රභූවරුන්ට ද සාදයක් පැවැත් වූ කල අවස්ථාව එළැඹිණි. හෙරෝදියස්ගේ දියණිය පැමිණ, නටා, හෙරෝද් හා සාදයට ආ ඔහුගේ අමුත්තන් පිනවූවා ය. රජු දැරිය අමතමින්, “කැමති ඕනෑ ම දෙයක් මගෙන් ඉල්ලන්න. එය මා ඔබට දෙනවා” යි කීවේ ය. තවද ඔහු දිවුරමින්, “ඔබ ඉල්ලන ඕනෑ ම දෙයක්, මගේ රාජ්‍යයෙන් භාගයක් වුවත් මා ඔබට දෙනවා” යි කීවේ ය. පිටතට පැමිණි ඈ, “මා කුමක් ඉල්ලන්න දැ?” යි තම මවගෙන් ඇසුවා ය. “යොහන් බව්තීස්තගේ හිස” යයි ඈ කීවා ය. එකෙණෙහි විගස රජු ඉදිරියට පැමිණි ඈ, “මට ඕනෑ මේ දැන් යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා ඔබ මට දීම යැ” යි ඉල්ලා සිටියා ය. රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද අමුත්තන් නිසාත්, තම දිවුරුම් නිසාත් ඇයට දුන් වචනය ප්‍රතික්ෂේප කරන්නට අකමැති විය. ඔහු එකෙණෙහි ම යොහන්ගේ හිස ගෙනෙන ලෙස අණ දී, වධකයකු පිටත් කළේ ය. ඔහු ගොස්, සිරගෙයිදී යොහන්ගේ හිස ගසා, ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත් දැරියට දුන්නේ ය. ඈ එය තම මවට දුන්නා ය. සිදු වූ දෑ ඇසූ යොහන්ගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.