ලූක් 9:12-17
ලූක් 9:12-17 SCV
දවස ගෙවෙමින් තිබියදී උන්වහන්සේ වෙත ආ දොළොස් දෙනා, “නවාතැන් සහ අහර සපයා ගන්නට මේ සෙනඟ අවට ගම්මාන හා පිටිසර පෙදෙස්වලට පිටත් කර යවන්න; මන්ද අප සිටින්නේ පාළු පෙදෙසකැ” යි කීහ. උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ කල, ඔවුහු පිළිතුරු දෙමින්, “අප ගොස්, මේ මුළු පිරිසට ආහාර මිල දී ගතහොත් මිස, රොටි පහක් හා මසුන් දෙදෙනකුට වැඩි දෙයක් අප ළඟ නැතැ” යි කීහ. (මන්ද එහි පිරිමින් පන්දහසක් පමණ වූහ.) “පනස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් ඔවුන් හිඳුවන්නැ” යි යේසුස්වහන්සේ ගෝලයින්ට කී සේක. ගෝලයෝ එලෙස සියල්ලන් හිඳ වූහ. උන්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන ස්වර්ගය දෙස ඉහළ බලා, ඒවා ගැන ආශිර්වාදය පැවසූ සේක. ඉන්පසු ඒවා කැඩූ උන්වහන්සේ සමූහයා ඉදිරියේ තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉතිරි වූ කැබලි එකතු කරනු ලැබ, කූඩ දොළහක් පුරවාගනු ලැබිණ.





