YouVersion Logo
Search Icon

යෝනා 1:7-17

යෝනා 1:7-17 SCV

ඉන්පසු නැවියෝ, එකිනෙකා අමතමින්, “එමු; මේ විපත්තියට වගකිව යුත්තා කවුරුදැයි දැනගන්නට අපි පස ඇට දමමු” යි කීහ. ඔවුහු එසේ පස ඇට දැමූහ. පස ඇටය වැටුණේ යෝනාට ය. එවිට ඔවුහු ඔහු අමතා, “මේ කරදර අප පිට ආවේ කවුරුන් නිසා දැයි අපට කියනු! මොකක් ද නුඹේ රැකියාව? නුඹ එන්නේ කොහේ සිට ද? නුඹ කුමන රටේ ද? කුමන ජාතියේ දැ?” යි ඇසූහ. යෝනා පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව්වෙක්මි; මුහුදත්, ගොඩ බිමත් මැවූ ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්මි” යි කීවේ ය. එයින් අතිශය භයට පත් ඔවුහු, “මොකක් ද මේ නුඹ කළේ?” යි ඇසූහ. ඔහු ස්වාමින්වහන්සේ අබියසින් පලා යමින්, සිටින වග, ඔවුහු දැන සිටියහ. ඒ වග, ඔහු ඔවුනට කියා තිබිණි. එබැවින් ඔවුහු, “මුහුද අපට නිශ්චල වන පිණිස, අප ඔබට කුමක් කළ යුතු දැ?” යි ඔහුගෙන් ඇසූහ. මන්ද මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වෙමින් තිබිණි. “මා ඔසවා, මුහුදේ හෙළන්න. එවිට මුහුද නිශ්චල වේවි. මේ මහ කුණාටුවට ඔබ හසු වූයේ, මා නිසා වග මම දනිමි” යි ඔහු කීවේ ය. කෙසේ වුව ද නැව ආපසු ගොඩට පද වන්නට ඒ මිනිස්සු මහත් වෙහෙසක් දරා, හබල් ගෑහ. එහෙත් එය කළ හැකි නො වූයේ, ඔවුන්ට එරෙහිව මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වූ බැවිනි. එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මේ මිනිසාගේ ජීවිතය නිසා, අප විනාශ වන්නට ඉඩ නෑරිය මැනව. නිදොස් ලේ ගැන අප වරදකරුවන් නො කළ මැනවි. මන්ද අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ක්‍රියා කර ඇත්තේ ඔබට මනාප පරිද්දෙනි” යි කීහ. ඉන්පසු ඔවුහු යෝනා අල්ලා, මුහුදේ හෙළූහ. එවිට මුහුදේ සැඩගතිය නැවතිණි. එවිට ඒ මිනිස්සු ස්වාමින්වහන්සේට අතිශය භය වූවෝ, ස්වාමින්වහන්සේට පූජාවක් ඔප්පු කොට, බාර වූහ. එහෙත් ස්වාමින්වහන්සේ, යෝනා ගිලින පිණිස, යෝධ මත්ස්‍යයකු නියම කළ සේක. යෝනා ඒ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.

Free Reading Plans and Devotionals related to යෝනා 1:7-17