YouVersion Logo
Search Icon

යොහන් 13:6-20

යොහන් 13:6-20 SCV

උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවා දැ?” යි ඔහු ඇසුවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක. එවිට පේතෘස්, “කවදාවත් ඔබ මගේ පාද සෝදන්නේ නෑ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නො සේදුවොත්, මා සමඟ පංගුකාරකමක් ඔබට නැතැ” යි කී සේක. “මගේ පා පමණක් නො වෙයි ස්වාමිනි, මගේ අත් හා හිසත් සෝදන්නැ” යි සීමොන් පේතෘස් කීවේ ය. යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක් ම නො වේ” යි කී සේක. මන්ද තමා පාවා දෙන්නා කවුරුදැයි උන්වහන්සේ දැන සිටි සේක. “ඔබ හැම කෙනෙක් ම පවිත්‍ර නැතැ” යි උන්වහන්සේ කීවේ එබැවිනි. ඔවුන්ගේ පා සේදූ පසු, උන්වහන්සේ තම කබාය යළි ඇඟ ලා, තම අසුනේ හිඳ, ඔවුන්ට මෙසේ පැවසූ සේක. “මා දැන් ඔබට කළ දේ කුමක් දැයි ඔබට වැටහෙනවා ද? ඔබ මා අමතන්නේ, ‘ගුරුතුමනි, ස්වාමිනි’ කියායි. එය නිවැරදියි; මන්ද මා එහෙමයි. ඔබේ ගුරුවරයාත්, ස්වාමියාත් වන මා ඔබේ පා සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පා සේදිය යුතුයි. මා කළේ, මා කළ ලෙස ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දීමයි. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දාසයා තම ස්වාමියාට වඩා උතුම් නො වේ; පණිවුඩකරුවෙක් ඔහු යැවූ තැනැත්තාට වඩා උතුම් නො වේ; දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි. “මා කතා කරන්නේ ඔබ හැම කෙනකු ගැන නො වෙයි. මා තෝරාගත් අය කවුරුදැයි මා දන්නවා. එනමුත් ‘මා හා එක පතේ කෑ තැනැත්තා මට ද්‍රෝහි වී යැ’ යි ලියා ඇති ශුද්ධ ලියවිල්ල සැබෑ විය යුතුයි. “සිදු වන්නට කලින් දැන් මා ඔබට කියන්නේ, එය සිදු වූ කල, උන්වහන්සේ මා වග ඔබ විශ්වාස කරන පිණිසයි. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මවිසින් එවන කවරකු හෝ පිළිගන්නා, මා පිළිගනියි; මා පිළිගන්නා, මා එවූ තැනැන්වහන්සේ පිළිගනී යැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to යොහන් 13:6-20