YouVersion Logo
Search Icon

යෙරමියා 37

37
සෙදෙකියාගේ පත්වීම
1බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්, යොෂීයාගේ පුත් සෙදෙකියා යූදා දේශයේ රජු ලෙස පත් කළේ ය. ඔහු, යෙහෝයාකීම්ගේ පුත් කොනියාගේ#37:1 කොනියාගේ එනම් යෙකොනියා හෙවත් යෙහෝයාකීන් තැන ගෙන රජකම් කළේ ය. 2එහෙත් ඔහු හෝ ඔහුගේ සේවකයින් හෝ දේශයේ ජනයා හෝ යන කිසිවකු දිවැසිවර යෙරමියා තුළින් ස්වාමින්වහන්සේ කතා කළ වචනවලට සවන් දුන්නේ නැත.
3එහෙත් සෙදෙකියා රජු ෂෙලෙමියාගේ පුත් යෙහූකල් ද මාසේයාගේ පුත් පූජක සෙෆනියා ද දිවැසිවර යෙරමියා වෙත යවමින්, “කරුණාකර, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට අප උදෙසා යාච්ඤා කරන්නැ” යි දැන්වී ය.
4ඒ වන විට යෙරමියා සිරගත කර නො තිබූ බැවින්, ඔහු ජනයා අතරේ නිදහසේ යෑම්-ඊම් කළේ ය. 5මේ අතර පාරාවෝගේ හමුදාව ඊජිප්තුවෙන් පිටත් ව අවුත් තිබිණ. ඒ දක්වා යෙරුසලම වටලා සිටි කල්දිවරු ඒ පුවත සැල වූ කල, යෙරුසලමින් ඉවත් ව ගියහ.
6එවිට ස්වාමින්වහන්සේගේ වචනය, දිවැසිවර යෙරමියා වෙත පැමිණියේ ය: 7“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මගෙන් විමසන්නට මා වෙත නුඹලා එවනු ලැබූ යූදාහි රජුට මෙසේ කියනු: ‘මෙන්න! ඔබගේ උපකාරයට පිටත් ව ආ පාරාවෝගේ හමුදාව, ඔවුන්ගේ දේශය වූ ඊජිප්තුවට ම ආපසු යන්නට සූදානම්. 8කල්දිවරුන් ආපසු අවුත්, මේ පුරවරයට එරෙහිව සටන් වැද, මෙය අල්ලාගෙන, ගින්නෙන් දවා දමනු ඇත.’
9ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘කල්දිවරුන් නිසැක ව ම අප හැර යති’ යි කියා ගනිමින්, තමන් රවටා නො ගන්න. ඔවුන් ඉවතට යන්නේ නැත. 10ඔබට පහර දෙන කල්දි මුළු හමුදාව ඔබ පරාජය කළ ද, ඔවුන් අතරින් බරපතළ තුවාල ලද්දවුන් පමණක් හෝ ඔවුන්ගේ කූඩාරම්වල ඉතිරි වුවහොත්, ඔවුන් අවුත්, මේ පුරවරය ගිනි ලා දවා දමනු ඇත.”
11පාරාවෝගේ හමුදාව ළඟා වෙද්දී, කල්දීය හමුදාව යෙරුසලමෙන් බැහැර ව ගිය පසු, 12යෙරමියා, බෙන්යමින් පළාතේ ජනයා අතරේ දේපොළවල තම කොටස ලබන පිණිස, එහි යන්නට යෙරුසලමින් පිටත් විය. 13එහෙත් ඔහු බෙන්යමින් දොරටුව වෙත ළඟා වූ කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් ඉරීයා නැමති ආරක්ෂක සෙන්පතියා ඔහු අත්අඩංගුවට ගෙන, “කල්දිවරුන්ට එකතු වීමට නුඹ පලා යනවා දැ!” යි ඇසී ය.
14“එය බොරුවක්! කල්දිවරුන්ට එකතු වීමට මා පලා යනවා නො වේ යැ” යි යෙරමියා පැවසූ නමුදු ඉරීයා ඔහුට ඇහුම්කන් දුන්නේ නැත. ඔහු යෙරමියා අත්අඩංගුවට ගෙන, නිලධාරීන් වෙත පැමිණ වී ය. 15නිලධාරීහු, යෙරමියා ගැන කෝප වූවාහු, ඔහුට තලා, ඔවුන් විසින් සිර ගෙයක් බවට පත් කොට තිබූ යොනාතාන් ලේකම් තැනගේ නිවසේ ඔහු සිර අඩස්සි කළාහු ය.
16යෙරමියා දඟ ගෙයි ඇඳිරි බිම් මැදිරියක දමන ලදුව, දිගු කලක් ම එහි සිටියේ ය. 17පසුව සෙදෙකියා රජු පණිවුඩ යවා, රජ මැදුරට ඔහු ගෙන්වා, “ස්වාමින්වහන්සේගෙන් පණිවුඩයක් වේ දැ?” යි රහසිගත ව විමසී ය.
යෙරමියා පිළිතුරු දෙමින්, “එසේ යැ” යි කීවේ ය. තවද ඔහු, “බබිලෝනි රජුගේ අතට ඔබ හසුකර දෙනු ලැබේ යැ” යි පැවසී ය.
18යෙරමියා තවදුරටත් සෙදෙකියා රජු අමතමින්, “ඔබට හෝ ඔබේ නිලධාරීන්ට හෝ මේ ජනයාට හෝ විරුද්ධ ව මා කුමන අපරාධයක් කළාට ද නුඹලා මා සිර ගෙයි දැම්මේ? 19‘බබිලෝනි රජු ඔබට හෝ මේ දේශයට එරෙහිව එන්නේ නැතැ’ යි ඔබට දිවැසි වැකි පැවසූ ඔබේ දිවැසිවරුන් කෝ? 20අහෝ මගේ ස්වාමියා වූ රජතුමනි, කරුණාකර මට සවන් දෙන්න. මගේ කන්නලව්ව ඔබ ඉදිරියේ තබන්නට අවසරයි. යොනාතාන් ලේකම් තැනගේ ගෙදරට නැවතත් මා නො යැවුව මැනවි. ගියොත් එහිදී මා මැරී යාවි” යි කීවේ ය.
21එවිට, සෙදෙකියා රජු, යෙරමියා සම්බන්ධ ව නියමයක් පනවමින්, රජගෙදර අරක්ෂක මළුවෙහි ඔහු රඳවා තබන ලෙසටත්, පුරවරයේ රොටි සියල්ල නිම වී යන තෙක් රොටි පුලුස්සන්නන්ගේ වීදියෙන් දිනපතා ඔහුට රොටිය බැගින් දීමටත් සැලසී ය. එබැවින් යෙරමියා ආරක්ෂක මළුවෙහි රැඳී සිටියේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in