YouVersion Logo
Search Icon

යෙරමියා 26

26
මරණ තර්ජන
1යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ රාජ සමය මුලදී, ස්වාමින්වහන්සේ වෙතින් මෙම වචනය පැමිණියේ ය: 2ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාරයට පැමිණෙන යූදා නගර වාසී සියලු ජනයාට, ස්වාමින්වහන්සේගේ ගෘහ මළුවේ සිටගෙන, කතා කරන්න. මා ඔබට අණ කරන සියල්ල ඔවුන්ට පවසන්න. වචනයක්වත් අඩු නො කරන්න. 3ඇතැම් විට ඔවුන් ඒ අසා, එකිනෙකා තම තමාගේ දුෂ්ට මාර්ගයෙන් ඉවත හැරෙනු ඇත. එවිට ඔවුන්ගේ දුෂ්ටකම් නිසා, ඔවුන් පිටට පමුණු වන්නට මා සැලසුම් කළ විපත්තිය ගැන සිත වෙනස් කර, ඒවා නො පමුණු වන්නෙමි. 4ඔවුන්ට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැති නම්, මා විසින් නුඹලා ඉදිරියේ තබා ඇති මගේ ව්‍යවස්ථාව අනුගමන කරන්නේ නැති නම්, 5නුඹලා වෙත යළි යළිත් ඕනෑකමින් මා එවූ මගේ සේවකයින් වන දිවැසිවරුන්ගේ වචනවලට නුඹලා සවන් දෙන්නේ නැති නම්– නුඹලා සවන් නො දුන්නේ වී නමුත්– 6මම මේ ගෘහය ෂීලෝ මෙන් වන්නට සලස්සමි. මේ නගරය, මිහි පිට සියලු ජාතීන් අතරේ ශාපයට හේතුවක් කරන්නෙමි.’ ”
7 ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි සිට යෙරමියා මේ වචන පවසනු පූජකයෝ ද දිවැසිවරු ද මුළු ජනතාව ද ඇසූහ. 8එහෙත් යෙරමියා තමාට ස්වාමින්වහන්සේ පවසන්නට අණ කළ සියලු දෑ මුළු ජනතාවට පවසා නිම වූ විගස, පූජකයෝ ද දිවැසිවරු ද මුළු ජනතාව ද ඔහු අල්ලා, “නුඹ මිය යා යුතුයි. 9මෙම ගෘහය ෂීලෝ මෙන් වේය කියා ස්වාමින්වහන්සේගේ නාමයෙන් නුඹ දිවැසි වැකි පවසන්නේ මන්ද? මේ පුරවරය පදිංචිකරුවකු නැතුව හැර දැමේය කියන්නේ මන්දැ?” යි ඇසූහ. මුළු ජනතාව ම ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ යෙරමියා වට කොට ගත්හ.
10යූදා අධිපතීහු ඒ වග ඇසූ කල, රජ මාලිගයේ සිට ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත පැමිණ, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නව දොරටු පිවිසුමෙහි නියමිත අසුන් ගත්හ. 11එවිට පූජකවරු හා දිවැසිවරු, අධිපතීන්ටත්, මුළු ජනයාටත් කතා කොට, “මේ මිනිහා මරණයට නියම කළ යුතුයි. මන්ද ඔබගේ ම කනින් ඔබ ඇසූ පරිදි, මොහු මේ පුරවරයට එරෙහිව දිවැසි වැකි පැවසුවා යැ” යි කීහ.
12එවිට යෙරමියා සියලු නිලධාරීන් හා මුළු ජනයා අමතමින්, “ඔබට අසන්නට ලැබුණු වචන සියල්ලෙන් මේ ගෘහයට හා මේ පුරවරයට එරෙහිව දිවැසි වැකි කියන්නට මා එවුවේ ස්වාමින්වහන්සේ ය. 13එබැවින් දැන්, ඔබගේ මාර්ග සහ ඔබගේ ක්‍රියා කලාපය හරි ගස්සාගෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට කීකරු වන්න. එවිට ස්වාමින්වහන්සේ සිත වෙනස් කර ගෙන, නුඹලාට එරෙහිව ප්‍රකාශ කළ විපත්තිය නො පමුණුවනු ඇත. 14කෙසේ වෙතත් මෙන්න මා, ඔබේ අතේ. ඔබට හරි යැයි, හොඳ යැයි සිතෙන දෙයක් මා සම්බන්ධයෙන් කරන්න. 15එහෙත් නුඹලා මා මරා දැමුවහොත්, නිදොස් ලේ වැගිරවීමේ අපරාධය නුඹලා පිටත්, මේ පුරවරය පිටත්, මෙහි වෙසෙන්නවුන් පිටත් නුඹලා ම ගෙන්වා ගන්නා වග, සැක හැර දැනගන්න. මන්ද නුඹලා අසා සිටියදී මේ සියලු වචන නුඹලාට පවසන්නට මා එවුවේ සැබවින් ම ස්වාමින්වහන්සේ යැ” යි පැවසී ය.
16එවිට අධිපතීහු හා මුළු ජනතාව පූජකයින්ටත්, දිවැසිවරුන්ටත් කතා කොට, “මේ මිනිසා මරණයට පත් කළ යුතු නැත. ඔහු අපට කතා කොට ඇත්තේ, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙනි” යි පැවසූහ.
17එවිට දේශයේ වැඩිහිටියන්ගෙන් කීප දෙනෙක් ඉදිරියට පැමිණ, රැස් වී සිටි සියල්ලන් අමතමින්, මෙසේ කීහ: 18“යූදාහි රජු වූ හෙසකියාගේ දවස්හි දී මෝරෂ්තීය මීකා දිවැසි වැකි පවසමින්, යූදාහි මුළු ජනතාවට කතා කොට, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘සියොන කෙතක් සේ හානු ලබන්නේ ය.
යෙරුසලම නටබුන් ගල් ගොඩක් බවට පත් වන්නේ ය.
ගෘහ කන්ද ලඳු කැලෑ ගොඩැල්ලක් වන්නේ යැ’ යි#26:18 මීකා 3:12 කී ය.
19“එකල යූදා රජු වූ හෙසකියා හෝ යූදාහි අන් කිසිවකු ඔහු මරා දැමුවා ද? ඔහු ස්වාමින්වහන්සේට භය ව ස්වාමින්වහන්සේගේ කරුණාව යැද්දේ නැති ද? එවිට ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව පමුණු වන්නට අදහස් කළ විපත්තිය නො පැමිණවීමට තම සිත වෙනස් කර ගත්තා නො වේ ද? එනමුත් අප, අප පිට ම මහ විපත්තියක් පමුණුවා ගැනීමට සූදානම් වේ යැ” යි කීවේ ය.
20මේ අතර, ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවැසි වැකි පැවසූ තවත් මිනිසෙක් සිටියේ ය. ඔහු කිරියත්-යෙයාරීම්හි ෂෙමායාගේ පුත් ඌරියා ය. ඔහු යෙරමියා කී පරිදි ම මෙම පුරවරයටත්, මෙම දේශයටත් එරෙහිව දිවැසි වැකි පැවසී ය. 21යෙහෝයාකීම් රජු ද ඔහුගේ බලවන්තයින් හා ඔහුගේ අධිපතීන් ද ඌරියාගේ වචන ඇසූ කල, රජු ඔහු මරන්නට සෙවී ය. එහෙත් ඒ වග ඇසූ ඌරියා බියෙන් ඊජිප්තුවට පලා ගියේ ය. 22එවිට යෙහෝයාකීම් රජු තවත් මිනිසුන් කීප දෙනකු සමඟ අක්බෝර්ගේ පුත් එල්නාතාන්, ඊජිප්තුවට යැවී ය. 23ඔවුහු ඊජිප්තුවේ සිට ඌරියා ගෙනැවිත්, යෙහෝයාකීම් රජු වෙත පැමිණ වූහ. රජු කඩුවෙන් පහර දී, ඔහු මරා දැමී ය. ඔහුගේ මිනිය පොදු ජනයාගේ සොහොන් පොළට ඇද දමනු ලැබී ය.
24එසේ වුව ද ෂාෆාන්ගේ පුත් අහිකාම්, යෙරමියාගේ පැත්තට සිටි හෙයින්, මරා දමනු පිණිස ජනතාව අතට ඔහු පවරා දෙනු ලැබුවේ නැත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for යෙරමියා 26