උත්පත්ති 6:5-10
උත්පත්ති 6:5-10 SCV
මිහි පිට මනුෂ්‍යයාගේ දුෂ්ටකම් කොතෙක් මහත් වී ද යන්නත්, ඔහුගේ හදෙහි අදහස්වල සෑම නැඹුරුවීමක් ම, හැම විට නපුරට ම බවත් ස්වාමින්වහන්සේ දුටු සේක. තමා මිහි පිට මනුෂ්‍යයා සෑදීම ගැන ස්වාමින්වහන්සේ තැවුණු සේක. උන්වහන්සේගේ හද වේදනාවෙන් පෙළුණි. එබැවින් ස්වාමින්වහන්සේ, “මිනිස් සංහතිය, මා විසින් මවන ලද මිනිස් සංහතිය හා සතුන් ද උරගයින් හා අහස් පක්ෂීන් ද මිහි පිටින් තුරන් කර දමන්නෙමි. මා ඔවුන් සෑදීම ගැන මම තැවෙන්නෙමි” යි කී සේක. එහෙත් නෝවා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ ප්‍රසාදය ලද්දේ ය. නෝවාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය. ධර්මිෂ්ඨ මිනිසකු වූ නෝවා, ඔහුගේ කාලයේ මිනිසුන් අතර නිදොස් මිනිසා විය. ඔහු දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. නෝවාට ෂේම්, හාම් හා යාෆෙත් නම් වූ පුතුන් තිදෙනෙක් වූහ.





