YouVersion Logo
Search Icon

උත්පත්ති 50:1-11

උත්පත්ති 50:1-11 SCV

එවිට යෝසෙප්, තම පියා පිට වැටී, වැලපෙමින්, ඔහු සිප ගත්තේ ය. ඉන්පසු යෝසෙප් තම සේවයේ නියුතු වෙදුන් කැඳවා, තම පියාණන් වූ ඉශ්‍රායෙල් බෙහෙත් ගල්වන ලෙස නියෝග කළේ ය. එබැවින් වෙද්දු ඔහුට බෙහෙත් ගැල්වූහ. ඒ සඳහා පූර්ණ දවස් හතළිහක් ගත විය. මන්ද මිනියක් බෙහෙත් ගැල්වීමට එපමණ කලක් අවැසි විණ. ඊජිප්තුවරු ඔහු උදෙසා හැත්තෑ දවසක් ශෝක වූහ. ශෝක දවස් ගෙවුණු පසු, පාරාවෝගේ මන්දිර වාසීන් ඇමතූ යෝසෙප්, “නුඹලා මා කෙරේ ප්‍රසන්න නම්, මා උදෙසා පාරාවෝට කතා කොට මෙසේ කියන්න. ‘මගේ පියා මගෙන් දිවුරුම් ගනිමින්, “මා මැරෙන්නට ළඟයි. කානාන් දේශයේ මා උදෙසා මා විසින් ම කණින ලද සොහොනෙහි මා වළලන්නැ” යි කීවා. එබැවින් දැන් එහි ගොස්, මගේ පියා භූමදාන කරන්නට ඉඩ හරින්න. ඉන්පසු මම ආපසු එන්නෙමි’ ” යි පැවසී ය. පාරාවෝ පිළිතුරු දෙමින්, “යන්න; ඔබේ පියා ඔබෙන් දිවුරුම් ගත් පරිදි ගොස්, ඔබේ පියා භූමදාන කරන්නැ” යි කීවේ ය. එබැවින් යෝසෙප් තම පියා භූමදාන කරන්නට පිටත් විය. පාරාවෝගේ මන්දිරයේ ජ්‍යෙෂ්ඨයින් ද ඊජිප්තුවේ සියලු උත්තමයින් ද යන පාරාවෝගේ සියලු නිලධාරීහු ඔහු සමඟ ගියහ. තවද යෝසෙප්ගේ ගෘහවාසී සැවොම ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලට අයත් වූවෝ ද ගියහ. ගෝෂෙන් පෙදෙසේ නවත්වන ලද්දේ ඔවුන්ගේ කුඩා දරුවන් හා එළු බැටළු හා ගව රංචු පමණි. අස්රිය හා අසරුවෝ ද ඔහු හා ගියහ. එහි අති මහත් පිරිසක් වූහ. යොර්දානෙන් එගොඩ ආතාද් කමත වෙත ළඟා වූ කල්හි ඔවුහු, මහ හඬින් ද දැඩි සොවින් ද වැලපුණහ. යෝසෙප් එහිදී තම පියා උදෙසා හත් දවසක ශෝක කාලයක් පැවැත්වී ය. ආතාද් කමතේ පැවති වැලපීම දුටු එපෙදෙසේ විසූ කානානිවරු කතා කොට, “ඊජිප්තුවරු මහත් ශෝක අවස්ථාවක් පවත්වති” යි කීහ. යොර්දානයෙන් එගොඩ එම ස්ථානය ආබෙල් මිස්රයිම් නමින් හැඳින්වෙන්නේ එබැවිනි.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 50:1-11