උත්පත්ති 46:1-27
උත්පත්ති 46:1-27 SCV
ඉශ්රායෙල් තමා සන්තක සියල්ල ද රැගෙන, පිටත් වූයේ ය. බෙයර්ෂෙබා වෙත ළඟා වූ ඔහු, තම පියා වූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට යාග පූජා ඔප්පු කළේ ය. එවිට රාත්‍රි දර්ශනයකින් දෙවියන්වහන්සේ ඉශ්රායෙල් අමතමින්, “යාකොබ්, යාකොබ්” යැයි හඬ ගැසූ සේක. “මං මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. උන්වහන්සේ කතා කරමින්, “මම දෙවියන්වහන්සේ ය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ය. ඊජිප්තුවට යෑමට භය නො වන්න. මන්ද එහිදී මහත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි. මම ඔබ සමඟ ඊජිප්තුවට යන්නෙමි. මම නියතයෙන් ම ඔබ ආපසු ගෙනෙන්නෙමි. යෝසෙප්ගේ අත ම ඔබගේ නෙත් පියවනවා ඇතැ” යි පැවසූ සේක. ඉන්පසු යාකොබ් බෙයර්ෂෙබාවෙන් පිටත් විය. ඔහු ගෙන යෑමට පාරාවෝ විසින් එවා තිබූ ගැල්වලින් ඉශ්රායෙල් පුත්‍රයෝ තම පියා වූ යාකොබ් ද තම දරුවන් ද තම භාර්යාවන් ද ගෙන ගියහ. ඔවුහු තම සත්ව සම්පත් ද කානාන් දේශයේදී තමන් අත්කර ගත් වස්තු සම්පත් ද තමන් හා ගෙන ගියහ. මෙසේ ඔවුහු, යාකොබ් හා ඔහුගේ මුළු දරු පරපුර ඊජිප්තුවට පැමිණියහ. ඔහු තමා සමඟ තම පුතුන් හා මුනුපුරන් ද තම දූවරුන් හා මිනිපිරියන් ද යන තමාගේ මුළු දරු පරපුර ම ඊජිප්තුවට ගෙන ගියේ ය. ඊජිප්තුවට ගිය ඉශ්රායෙල් පුත්‍රයින් හෙවත් යාකොබ් හා ඔහුගේ දරු පරපුරේ නාම මෙසේ ය: යාකොබ්ගේ කුලුඳුලා රූබෙන් ය. රූබෙන්ගේ පුත්‍රයෝ: හනොක්, පල්ලු, හෙස්රොන් හා කර්මී ය. සිමියොන්ගේ පුත්‍රයෝ: යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාකින්, සොහර් හා කානානි ස්ත්‍රියකගෙන් උපන් පුත් ෂාවුල් ය. ලෙවීගේ පුත්‍රයෝ: ගෙර්ෂොන්, කොහාත් හා මෙරාරී ය. යූදාගේ පුත්‍රයෝ: ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙස් හා සෙරා ය. එහෙත් ඒර් හා ඕනාන් කානාන් දේශයේදී මිය ගියහ. පෙරෙස්ගේ පුත්‍රයෝ: හෙස්රොන් හා හාමූල් ය. ඉස්සාකර්ගේ පුත්‍රයෝ: තෝලා, පූවා, යෝබ් හා ෂිම්රෝන් ය. සාබුලොන්ගේ පුත්‍රයෝ: සෙරෙද්, ඒලොන් හා යාලෙයෙල් ය. පදන්-අරාම්හි දී ලෙයා, යාකොබ්ට බිහි කර දුන් පුත්තු ඔවුහු ය. ඔහුගේ දියණිය දීනා ය. ඔහුගේ මෙම දූ පුතුන් සියල්ලෝ ගණනින් තිස්තුන් දෙනෙකි. ගාද්ගේ පුත්‍රයෝ: සිෆියොන්, හග්ගී, ෂූනී, එස්බොන්, ඒරී, අරෝදී හා අර්යේලී ය. ආෂෙර්ගේ පුත්‍රයෝ: ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී හා බෙරියා ය. ඔවුන්ගේ සොහොයුරිය සෙරා ය. බෙරියාගේ පුත්‍රයෝ: හෙබෙර් සහ මල්කියෙල් ය. ලාබාන් තම දියණිය වූ ලෙයාට සේවිකාවක කොට දෙන ලද සිල්පා, යාකොබ්ට බිහි කර දුන් දරුවන් වූ ඔවුන් සියල්ලෝ ගණනින් දහසය දෙනෙකි. යාකොබ්ගේ බිරිඳ වූ රාඛෙල්ගේ පුත්‍රයෝ: යෝසෙප් හා බෙන්යමින් ය. ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, ඊජිප්තුවේදී යෝසෙප්ට මනස්සේ හා එප්‍රායිම් බිහි කර දුන්නා ය. බෙන්යමින්ගේ පුත්‍රයෝ: බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් හා අර්ද් ය. රාඛෙල්, යාකොබ්ට බිහි කර දුන් පුතුන් වූ ඔවුහු සියල්ලෝ ගණනින් දහහතර දෙනෙකි. දාන්ගේ පුත්‍රයා: හුෂීම් ය. නෆ්තලීගේ පුත්‍රයෝ: යාසෙයෙල්, ගුනී, යේසෙර් හා ෂිල්ලෙම් ය. ලාබාන් සිය දියණිය වූ රාඛෙල්ට සේවිකාවක වශයෙන් දෙන ලද බිල්හා, යාකොබ්ට බිහි කර දුන් පුතුන් වූ මොවුහු සියල්ලෝ ගණනින් හත් දෙනෙකි. යාකොබ්ගේ පුතුන්ගේ භාර්යාවන් හැර, යාකොබ් සමඟ ඊජිප්තුවට ගිය ඔහුගෙන් ම උපන් සියල්ලෝ ගණනින් හැටහය දෙනෙකි. ඊජිප්තුවේදී යෝසෙප්ට උපන් පුතුන් දෙදෙනා ද ඇතුළු ව ඊජිප්තුවට ගිය යාකොබ්ගේ පවුලේ සාමාජිකයින් සියල්ලෝ ගණනින් හැත්තෑ දෙනෙකි.





