උත්පත්ති 26:17-25
උත්පත්ති 26:17-25 SCV
එබැවින් ඊසාක් එතැනින් පිටත් ව, ගෙරාර් මිටියාවතේ කඳවුරු ගසා, එහි පදිංචි විය. තම පියා වූ ආබ්‍රහම්ගේ කාලයේ හාරන ලදුව, ආබ්‍රහම්ගේ මරණින් පසු පිලිස්තිවරුන් විසින් වසා දමා තිබූ ළිං, ඊසාක් යළි කැණැවී ය. ඔහුගේ පියා ඒවාට දී තිබූ නම්වලින් ම ඔහු ඒවා හැඳින් වී ය. ඊසාක්ගේ සේවකයෝ මිටියාවතේ කැණීම් කර, නැවුම් වතුර ඇති ළිඳක් සොයා ගත්හ. එහෙත් ගෙරාර්හි එඬේරු, “මේ වතුර අපේ” කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ දබර කළහ. ඒ මිනිසුන් තමා හා දබර කළ බැවින්, ඊසාක් ඒ ළිඳට, “ඒසෙක්” යයි නම් තැබී ය. ඉන්පසු ඔවුහු තවත් ළිඳක් හෑරූහ. ඔවුහු ඒ ගැන ද දබර කළහ. එබැවින් ඔහු එයට, “සිට්නා” යන නම තැබී ය. එතැනින් නික්ම ගිය ඔහු තවත් ළිඳක් කැණී ය. කිසිවකුත් ඒ ගැන දබර කළේ නැත. එබැවින්, “ස්වාමින්වහන්සේ දැං අපට ඉඩ සලසා දුන් බැවින්, අපි දේශයේ සඵල වන්නෙමු” යි පැවසූ ඔහු, “රෙහොබොත්” යැයි ඊට නම් තැබී ය. ඔහු එතැනින් බෙයර්ෂෙබා දක්වා නැග ගියේ ය. ඒ රාත්‍රියේ ස්වාමින්වහන්සේ ඔහුට පෙනුණු සේක්, “ඔබේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ මම ය. භය නො වන්න; මන්ද මම ඔබ සමඟ සිටිමි. මගේ සේවක ආබ්‍රහම් උදෙසා මම ඔබට ආශිර්වාද කර, ඔබගේ වංශය ගණනින් වර්ධන කරන්නෙමි” යි පැවසූ සේක. ඊසාක් පූජාසනයක් එහි ඉදිකර, ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කර, තම කූඩාරම එහි පිහිටුවී ය. එහිදී ඊසාක්ගේ සේවකයෝ ළිඳක් හෑරූහ.





