YouVersion Logo
Search Icon

එසකියෙල් 19

19
අධිපතීන් ගැන විලාපයක්
1“ඉශ්‍රායෙල් අධිපතීන් ගැන විලාප නගමින්, 2මෙසේ පවසන්න.
“ ‘නුඹලාගේ මව සිංහයින් අතරේ
කොතරම් අගනා සිංහ ධේනුවක් වූවා ද!
ඈ සිංහ පොව්වන් අතරේ ලැග සිටිමින්,
තම පැටවුන් ඇතිදැඩි කළා ය.
3ඇය ඇතිදැඩි කළ ඇගේ එක් පැටවෙක්,
සවිමත් සිංහයකු බවට පත් විය.
ඔහු ගොදුරු ඉරා දමන්නට උගෙන,
මිනිසුන් කා දැමී ය.
4ජාතීහු ඔහු ගැන ඇසූහ.
ඔවුන්ගේ බොරු වළෙහි ඔහු උගුලට හසු විය.
ඔවුහු ඔහුට කොකු දමා,
ඊජිප්තු දේශය වෙත ඇදගෙන ගියහ.
5“ ‘තම බලාපොරොත්තු ඉටු නො වී,
තම අපේක්ෂා සුන් වූ වග දුටු ඈ,
තම පැටවුන්ගෙන් තවත් එකකු ගෙන,
සවිමත් සිංහයකු බවට පත් කළා ය.
6ඔහු සිංහයින් අතරේ ගැවසෙමින්,
ප්‍රබල සිංහයකු බවට පත් ව සිටි ඔහු,
ගොදුරු ඉරා ගන්නට උගෙන,
මිනිසුන් කා දැමී ය.
7ඔහු ඔවුන්ගේ බළකොටු, කඩා බිඳ,
ඔවුන්ගේ නගර, ආලාපාළු කර දැමී ය.
ඔහුගේ ගෙරවීමට දේශය ද
එතුළ වූ සියල්ලෝ ද තැති ගත්හ.
8ඉන්පසු, ඒ වටා තිබූ පළාත්හි සිටි ජාතීහු
ඔහුට එරෙහිව ආහ.
ඔවුහු තමන්ගේ දැල ඔහුට එළූහ.
ඔහු ඔවුන්ගේ බොරු වළේ උගුලට හසු විය.
9ඔවුහු කොකු දමා, ඔහු ඇද, කූඩුවක් තුළ දමා,
බබිලෝනියේ රජු වෙත ගෙන ආවාහ.
ඔවුහු ඔහු සිර ගෙයි දැමූහ.
එබැවින් ඉශ්‍රායෙල් කඳු මත්තෙහි
ඔහුගේ ගෙරවුම් හඬ, තවදුරටත් නෑසිණි.
10“ ‘නුඹේ මව නුඹේ මිදි උයනේ
දිය ආශ්‍රිත ව සිටුවන ලද මිදි වැලක් වැන්න.
දිය බහුල වූ නිසා එය පල දැරී ය.
අතු පතරින් පිරී ගියේ ය.
11එහි අතු සවිමත් විය.
පාලකයන්ගේ රාජ යෂ්ටි සඳහා යෝග්‍ය විය.
එහි උස හා
අපමණ වූ අතු පතර මනාව දිස්වන සේ,
ගන ගහ කොළ අතුවලට ඉහළින්
එය උස් ව ඇදිණි.
12එහෙත්, ක්‍රෝධයෙන් එය මුලිනුදුරනු ලැබ,
බිමට හෙළාලන ලදී.
පෙරදිග සුළඟින් එය වියළී, හැකිළී,
එහි පල එයින් ගලවා දැමී ය.
එහි සවිමත් අතු වියැළිණ.
ගින්න, ඒවා දවා දැමී ය.
13දැන් එය පැළ කොට ඇත්තේ කාන්තාරයේ ය.
වියළි පිපාසිත දේශයේ ය.
14එහි ප්‍රධාන අත්තකින් ගින්න පැතිර
එහි පල දවා දැමී ය.
පාලක-රාජ යෂ්ටියට යෝග්‍ය වූ
සවිමත් අත්තක් එහි ඉතිරි නො වී ය.’
මෙය විලාපයකි. එය විලාපයකට භාවිත කරනු ලැබේ.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in