YouVersion Logo
Search Icon

නික්මයාම 16:1-23

නික්මයාම 16:1-23 SCV

මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා ඒලිම් වෙතින් පිටත් ව, ඔවුන් ඊජිප්තු දේශයෙන් නික්මුණු පසු දෙවන මස පහළොස් වන දවසේ, සීන් කාන්තාරයට පැමිණියහ. එය පිහිටියේ ඒලිම් හා සීනයි අතර ය. ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා කාන්තාරයේදී මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව මැසිවිලි නගන්නට වන්හ. ඉශ්‍රායෙල්වරු ඔවුනට දොස් පවරමින්, “ඊජිප්තුවේදී ස්වාමින්වහන්සේ අතින් අප මැරුණා නම් හොඳයි! එහිදී අප මස් බඳුන් වටේට හිඳ, අප ආශා කළ කෑම, බඩ-කට පුරා කෑවා. එහෙත් දැන් මේ මුළු සමූහයා සාගින්නෙන් මරා දමන්නට නුඹලා මේ කාන්තාරයට අප ගෙනැවිල්ලා” යි කීහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මෙන්න! මම නුඹලාට අහසින් ආහාර වැසි වස්සන්නෙමි. ජනයා ඒ ඒ දවසේ පිටතට ගොස්, ඒ දවසට ප්‍රමාණවත් තරම එකතු කර ගත යුතු ය. මේ අයුරින් මම ඔවුන් පරීක්ෂා කර, ඔවුන් මගේ උපදෙස් පිළිපදිනවාදැයි බලමි. හය වන දවසේ ඔවුන් ගෙනෙන දැයින් අහර පිළියෙල කර ගත යුතු ය. එය අනෙක් දවස්වල ඔවුන් එකතු කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් යැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා ආරොන් සියලු ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙන එන ලද්දේ, ස්වාමින්වහන්සේ ම වග සවස නුඹලා දැනගනු ඇත. උදයේ නුඹලා ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය දකිනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහි වූ නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අපට එරෙහිව මැසිවිලි නගන්නට අප කවුරු දැ?” යි පැවසූහ. තවද මෝසෙස්, “සවස ඔබට කෑමට උන්වහන්සේ මස් සපයා දෙන විටත්, උදයේ ඔබට ඇති තරම් ආහාර සපයා දෙන විටත්, ඒ ස්වාමින්වහන්සේ ම වග නුඹලා දැනගනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහිව නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අප කවුරු ද? නුඹලා මැසිවිලි නගන්නේ අපට එරෙහිව නො ව, ස්වාමින්වහන්සේට එරෙහිව යැ” යි පැවසී ය. ඉන්පසු මෝසෙස්, ආරොන් අමතමින්, “මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කොට, ‘ස්වාමින්වහන්සේ හමුවට එන්න; ඔබේ මැසිවිල්ල උන්වහන්සේ ඇසූ සේක කියා කියන්නැ’ යි” පැවසී ය. ආරොන් මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කරද්දී, ඔවුහු කාන්තාරය දෙස බැලූහ. එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය වලාකුළෙහි පෙනෙන්නට වන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයාගේ මැසිවිලි මම ඇසීමි. ඔවුනට මෙසේ කියන්න: ‘සවස, නුඹලා මස් අනුභව කරනු ඇත; උදයේ, රොටිවලින් නුඹලා සෑහීමට පත් කෙරෙනු ඇත. එවිට, මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය යන්න නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූ සේක. එදා සවස, වටුවෝ අවුත් කඳවුර වසා ගත්හ; උදෑසන කඳවුර හාත්පස පිනි තට්ටුවක් විය. පිනි සිඳී ගිය පසු මෙන්න! සුමුදු හිම වැනි කුඩා වටකුරු දෙයක් කාන්තාර බිම මතු පිට තිබිණ. ඉශ්‍රායෙල්වරු ඒ දුටු කල, “මොනවද මේ?” යි එකිනෙකාගෙන් විමසන්නට වූහ. ඒ මොනවාදැයි ඔවුන් දැන සිටියේ නැත. එවිට මෝසෙස් ඔවුන් දැනුවත් කරමින්, “නුඹලාට කෑමට ස්වාමින්වහන්සේ දුන් රොටි මේවා ය. ස්වාමින්වහන්සේ අණ කොට ඇත්තේ, ‘හැම කෙනෙක් ම තමන්ට ආහාරයට, අවශ්‍ය තරම එකතු කර ගනිත්වා; ඔබගේ කූඩාරමේ සිටින හැම කෙනකුට ම ඕමෙරයක් බැගින් ගනිත්වා’ කියා” යි පැවසී ය. ඉශ්‍රායෙල්වරු තමනට කී ලෙස කළහ. ඇතමෙක් බොහොමයක් ද ඇතමෙක් ස්වල්පයක් ද එකතු කර ගත්හ. ඕමෙරයක මිම්මෙන් ඔවුන් ඒවා මැන බැලූ කල, බොහොමයක් එකතු කළ අයට වැඩියෙන් තිබුණේවත්, ස්වල්පයක් එකතු කළ අයට අඩුවෙන් තිබුණේවත් නැත. හැම කෙනකු ම රැස් කර තිබුණේ තමනට අවැසි තරම පමණ ය. එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “කිසිවකු මෙයින් කිසිවක් උදය වන තුරු නො තබා ගත යුතු යැ” යි කීවේ ය. එහෙත් මෝසෙස්ට ඇහුම්කන් නො දුන් ඇතමෙක් ඒවායින් කොටසක් උදය වන තුරු තබා ගත්හ. එහෙත් ඒවා පණුවන් ගසා, දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය. හැම උදයක, හැම කෙනෙක් ම තම තමන්ට අවැසි තරම එකතු කර ගත්හ. හිරු තාපය දැඩි වූ කල ඒවා දියවී ගියේ ය. සවැනි දින ඔවුහු ප්‍රමාණයෙන් දෙගුණයක්, එක් කෙනකුට ඕමෙර දෙක බැගින් එකතු කර ගත්හ. සමූහයාගේ නායකයෝ මෝසෙස්ට ඒ වග දැන්වූහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අණ කර ඇත්තේ මෙයයි: ‘හෙට පූර්ණ විවේක දවසක්; ස්වාමින්වහන්සේට කැප ශුද්ධ සබතක්. එබැවින් උදුනේ පුලුස්සා ගන්න කොටස, පුලුස්සා ගන්න. තම්බා ගන්න කොටස, තම්බා ගන්න. ඉතිරිය උදෑසන දක්වා තබා ගත හැකි ය’ කියා යැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 16:1-23