නික්මයාම 12:31-42
නික්මයාම 12:31-42 SCV
ඒ රෑ ම මෝසෙස් හා ආරොන් කැඳවූ පාරාවෝ, “නැගිටිනු! මගේ ජනයා වෙතින් ඉවත් ව යනු! නුඹ ඉල්ලා සිටි පරිදි නුඹත්, ඉශ්‍රායෙල්වරුනුත් ගොස්, ස්වාමින්වහන්සේට නමස්කාර කරනු. නුඹ කී පරිදි නුඹලාගේ එළු බැටළු හා ගව රංචු ද රැගෙන, යන්නට-යනු. මටත් ආශිර්වාද කරනු!” යි පැවසී ය. රටින් වහාම පිට ව යන ලෙස ඊජිප්තුවරු ඉශ්‍රායෙල් ජනයාට බල කළහ. “නැතහොත් අප සැවොම මැරී යතැ” යි ඔවුහු කීහ. එබැවින් ජනයා තමන් ඇනූ පිටි පිපෙන්නටත් පළමු, අනන බඳුන් පිටින් ම ගෙන, ඇඳුම්වලින් ඔතා, කර තබාගෙන ගියහ. ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ට මෝසෙස් කියා තිබූ පරිදි, ඊජිප්තුවරුන්ගෙන් රිදී බඩු ද රන් බඩු ද රෙදි පිළි ද ඉල්ලා ගෙන තිබිණ. ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් හමුවේ ජනයාට ප්‍රසාදය ලැබෙන්නට සලසා තිබූ බැවින්, ඔවුන් ඉල්ලූ දෑ ඊජිප්තුවරු ඔවුන්ට දුන්හ. මෙසේ ඔවුහු ඊජිප්තුවරුන්ගෙන් කොල්ල කෑහ. ඉශ්‍රායෙල්වරු රාමසෙස් සිට සුක්කොත් දක්වා ගමන් ගත්හ. කාන්තාවන් හා ළමයින් හැර, පා ගමනේ යෙදුනු පිරිමි හය ලක්ෂයක් පමණ වූහ. මිශ්‍ර ජන සමූහයක් ද එළු බැටළු හා ගව ආදී මහත් සත්ව රංචු ද ඔවුන් සමඟ ගමන් ගත්හ. ඊජිප්තුවේ සිට ගෙනැවිත් තිබූ ඇනූ පිටිවලින් ඔවුහු නුමුහුන් රොටි පුලුස්සා ගත්හ. ඊජිප්තුවෙන් පිටතට ඔවුන් පලවා හරිනු ලැබූ බැවින්, ඇනූ පිටිවලට මුහුන් එක් කර නො තිබිණි. තමනට අහරක් පිළියෙල කර ගැනීමට ඔවුන්ට කල් වේලා නො තිබිණි. ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවේ වාසය කළ කාල-පරාසය, අවුරුදු හාරසිය තිහකි. අවුරුදු හාරසිය තිහක් ගෙවී නිම වූ දවසේ ම ස්වාමින්වහන්සේගේ සියලු සේනාවෝ ඊජිප්තු දේශය හැර ගියහ. ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් ගෙන එන පිණිස, එය ස්වාමින්වහන්සේට අවදිව සිටීමේ රාත්‍රියක් විය. එබැවින් සියලු ඉශ්‍රායෙල්වරුන් පරපුරෙන් පරපුරට මේ රාත්‍රියේ ස්වාමින්වහන්සේට ගෞරවයක් වශයෙන් අවදිව සිටීමක් පැවැත් විය යුතු වෙයි.





