YouVersion Logo
Search Icon

එස්තර් 2:7-18

එස්තර් 2:7-18 SCV

මොර්දෙකයි ඔහුගේ මාමාගේ දියණිය වූ හදස්සා එනම් එස්තර් හදා-වඩා ගත්තේ ය. මන්ද ඇයට පියාවත්, මවවත් සිටියේ නැත. මෙම යෞවනිය, අඟ පසඟින් ද රූ සිරියෙන් ද සොබමන් තැනැත්තියක් වූවා ය. ඇගේ පියාත්, මවත් මළ පසු, මොර්දෙකයි ඇය තමාගේ ම දියණියක කොට ගෙන තිබිණි. රජුගේ විධානය හා නියෝගය, නිවේදන කරනු ලැබූ කල, යෞවනියන් බොහෝ දෙනෙක් ෂූෂන් බළකොටුවට ගෙනෙනු ලැබ, හේගයිගේ රැකවරණ යටතට පත් කරන ලදහ. එස්තර් ද රජුගේ මාලිගයට ගෙනෙනු ලැබ, කාන්තාවන් බාරකාර හේගයිගේ බාරකාරත්වයට පත් කරන ලද්දී ය. තරුණිය ඔහු ප්‍රසන්න කර, ඔහුගේ ප්‍රසාදය දිනා ගත්තා ය. ඔහු නොපමාව ඇගේ රූපලාවණ්‍ය කටයුතු හා ඇගේ ආහාර සලාකය ද ඇයට ලැබෙන්නට සැලසී ය. ඇගේ ආවතේව සඳහා රාජ මාලිගයේ පරිවාර ළඳුන් හත්දෙනකු පත් කළ ඔහු, අන්තඃපුරය තුළ වූ හොඳ ම තැනක් වෙන් කොට, ඇය ද ඇගේ පරිවාර ළඳුන් ද එහි යැවී ය. එස්තර්, තම ජාතිකත්වය හා පවුල් පසුබිම ගැන හෙළි කොට තිබුණේ නැත. ඒ කරුණු හෙළි නො කරන ලෙස මොර්දෙකයි ඇයට අණ කොට තිබිණි. එස්තර්ට කෙසේ ද, ඇයට කුමක් වන්නේ දැයි දැනගනු පිණිස, මොර්දෙකයි හැම දවසක ම අන්තඃපුර මිදුල අසල ඔබ මොබ ඇවිද්දේ ය. තරුණියක, අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසීමේ වාරය ලබන්නට පළමු, ඇය පුරා දොළොස් මසක් කාන්තාවනට නියමිත රූපලාවණ්‍ය සත්කාරය ද හය මසක් සුවඳලාටු තෙල් ගැල්වීම ද හය මසක් සුවඳ පැන් හා සුවඳ විලේපන ආලේපය ද යන පිළිවෙත සම්පූර්ණ කළ යුතු විය. ඇය රජු වෙත යා යුතු වූයේ මෙසේ ය: අන්තඃපුරයෙන් ඇය කැමති කවර දෙයක් වුව රජ මැදුරට ගෙන යන්නට ඇයට අවසර ලැබේ. සවස් කල රජු වෙත එහි යන ඇය පසු දා උදෑසන අන්තඃපුරයේ වෙනත් කොටසකට යන්නී ය. එහිදී ඈ රජුගේ අතිරේක භාර්යාවන් බාර නපුංසක නිලධාරී ෂාෂ්ගාස්ගේ බාරකාරත්වයට පත් වන්නී ය. රජු ඇය කෙරේ ප්‍රසන්න වී, ඇගේ නම කියා කැඳවූවොත් මිස, යළිත් ඈ රජු වෙත නො යන්නී ය. මොර්දෙකයිගේ මාමා වූ අබිහයිල්ගේ දියණිය, තම දියණිය සේ හැදූ-වැඩූ යෞවනිය, එස්තර්ට රජු වෙත යාමේ වාරය එළැඹුණු කල ඈ, රජුගේ අන්තඃපුර බාර නපුංසක නිලධාරී හේගයි උපදෙස් දෙන ලද දෑ හැර අන් කිසිවක් නො ඉල්ලුවා ය. තවද එස්තර්, ඇය දුටු හැම කෙනකුගේ ම ප්‍රසාදය දිනා ගත්තා ය. රජුගේ රාජත්වයේ හත් වන වසරේ, දස වන මස වන ටේබෙත් නම් වූ මස එස්තර්, අහෂ්වේරොෂ් රජු වෙත, රජුගේ මන්දිරය වෙත ගෙන යන ලද්දී ය. රජුගේ සිත සෙසු අන් හැම ළඳකට ම වඩා, එස්තර් වෙත ඇදී ගියේ ය. සෙසු කන්‍යාවන් කවරකුටත් වඩා, රජුගේ ප්‍රසාදය හා මනාපය එස්තර් දිනා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිසේ රාජකීය ඔටුන්න පලඳා, වෂ්තී වෙනුවට ඇය තම බිසව කර ගත්තේ ය. රජු තමාගේ සියලු අධිපතීන්ටත්, නිලධාරීන්ටත් මහා ප්‍රිය සාදයක් පැවැත්වී ය. එය එස්තර්ගේ ප්‍රිය සාදය විය; ප්‍රාන්ත රාජ්‍යයන් පුරා නිවාඩු දවසක් ප්‍රකාශයට පත් කළ හෙතෙම, රාජකීය ත්‍යාගවත්කමින් තෑගි බෙදා දුන්නේ ය.

Free Reading Plans and Devotionals related to එස්තර් 2:7-18