YouVersion Logo
Search Icon

ද්විතීය 15

15
ණය කපා හැරීම
1සෑම හත් වසරක් කෙළවරදී ඔබ, ණය අවලංගු කළ යුතු ය. 2එය කළ යුත්තේ මෙසේයි: හැම ණය හිමියෙක් ම තම සහෝදර අසල්වැසියාට දී තිබූ ණය අවලංගු කළ යුතු ය. ස්වාමින්වහන්සේගේ ණය කපා හැරීම ප්‍රකාශ කර ඇති බැවින්, තම සහෝදරයාට, තම අසල්වැසියාට ණය ඉල්ලා බල කිරීම නො කළ යුතු ය. 3ණය ගෙවන ලෙස විදෙස්සකුට බල කිරීමට ඔබට පුළුවන. එහෙත් ඔබේ සහෝදර ජනයාගේ කෙනකුගෙන් ඔබට අය විය යුතු කවර ණයක් වුව ඔබ කපා හැරිය යුතු ය. 4කෙසේ වුව ද ඔබ අතරේ දිළිඳුන් නො සිටිය යුතු ය. මන්ද ඔබට උරුමයක් කොට හිමි කර ගන්නට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙහි උන්වහන්සේ ඔබට මහත් සේ ආශිර්වාද කරන්නේ, 5ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ සපුරාම කීකරු වෙමින්, අද මා ඔබට ආඥා කරන මේ සියලු ආඥා පිළිපැදීමට ඔබ පරෙස්සම් වුවහොත් පමණි. 6පොරොන්දු වූ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්, බොහෝ ජාතීන්ට ඔබ ණයට දෙනු ඇත. එහෙත් කිසිවකුගෙන්වත් ණයට ගන්නේ නැත. ඔබ බොහෝ ජාතීන් පාලනය කරනු ඇත. එහෙත් ඔවුන් ඔබ පාලනය කරනු නැත.
7ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ යම් නගරයක ඔබේ සහෝදර ජනයා අතරේ දුගියකු වෙතොත්, ඔබේ ඒ දුගී සහෝදරයාට දැඩි හදින් හෝ මසුරු ලෙසින් නො සැලකිය යුතු ය. 8ඔහුගේ අවැසිතාව අනුව නො මසුරුවත්, ත්‍යාගශීලීවත් ඔහුට ණයට දෙන්න. 9“හත් වන වසර, ණය කපා හරින වසර ළඟ ය” යන නපුරු සිතිවිල්ල රඳවා නො ගන්නට පරෙස්සම් වන්න. එසේ සිතා ඔබේ සහෝදර දුගියාට කිසිවක් නො දී, ඔහුට නො සලකා සිටීමෙන් වළකින්න; නැතහොත් ඔහු ස්වාමින්වහන්සේ වෙත ඔබට එරෙහිව කන්නලව් කරනු ඇත. එවිට ඒ පවට ඔබ වරදකරු වනු ඇත. 10ඔහුට දිය යුත්තේ නො කැමැත්තෙන් තොර ව, ත්‍යාගශීලී ව ය. ඒ හේතුවෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ සියලු කටයුතුවලට හා ඔබ අත ගසන හැම දේකට ආශිර්වාද කරන සේක. 11දේශයේ කවදත් දුගියන් සිටිනු ඇත. එබැවින් ඔබේ සහෝදරයින් වෙත, ඔබේ දේශයේ දුගීන් සහ අග හිඟ ඇත්තවුන් වෙත නිර්ලෝභී ව කටයුතු කරන ලෙස මම ඔබට අණ කරමි.
දාස දාසීන් නිදහස් කිරීම
12ඔබේ සහෝදර ජනයාගෙන් කෙනකු-හෙබ්‍රෙව් ජාතික පුරුෂයකු හෝ ස්ත්‍රියක තමන් ම ඔබට විකුණාගනු ලැබ, හය වසරක් ඔබට සේවය කළහොත්, හත් වන වසරේ ඔහුට නිදහස් ව යන්නට ඔබ ඉඩ දිය යුතු ය. 13ඔබ ඔහු නිදහස් කර හරින කල, ඔහු හිස් අතින් පිටත් කර නො හරින්න. 14ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති සේ, ඔබගේ එළු බැටළු රංචුවෙන්, ඔබේ කමතෙන් හා ඔබේ මිදි මෝලෙන් උපදනා දැයින් නො මසුරු ව ඔහුට දෙන්න. 15ඔබත් ඊජිප්තුවේ වහලුන් ව සිටි වගත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ මුදා ගත් වගත් සිහි කරන්න. මේ ආඥාව අද මා ඔබට දෙන්නේ එබැවිනි.
16එහෙත් ඔහු ඔබටත්, ඔබේ පවුලටත් ප්‍රේම කරන හෙයින් ඔබ හා සිටීමට මනාප ව, “මා ඔබ හැර යන්නේ නැතැ” යි ඔබට කියන්නේ නම්, 17විදින කටුවක් ගෙන, ඔහුගේ කන්පෙත්ත දොරට තබා, එය සිදුරු වන සේ විදිය යුතු ය. එවිට ඔහු ජීවිත කාලයට ම ඔබේ දාසයා වන්නේ ය. ඔබේ දාසියටත් ඒ දේ ම කරන්න.
18ඔහු නිදහස් කර යැවීම අසීරුතාවකැයි නො සිතන්න. මන්ද මේ හය වසර තුළ ඔහු ඔබට කළ සේවය, කුලීකරුවකුගේ සේවයට වඩා දෙගුණයක් වටිනා බැවිනි.
කුලුඳුල් සත්වයා
19ඔබේ ගව හා එළු, බැටළු රංචුවල හැම කුලුඳුල් පිරිමි පැටවකු ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට වෙන් කරන්න. ඔබේ ගවයින්ගේ කුලුඳුලන් වැඩෙහි නො යොදවන්න. ඔබේ බැටළුවන්ගේ කුලුඳුලන්ගේ ලොම් නො කපන්න. 20හැම වසරක ම ඔබත්, ඔබේ පවුලේ අයත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේදී, උන්වහන්සේ අබියස උන්ගේ මස අනුභව කළ යුතු ය. 21එහෙත්, එම සතකුට යම් කැළලක් ඇත්නම්, ඌ කොර හෝ අන්ධ නම්, නැතහොත් තද ඇද පලුද්දක් ඇත්නම් එම සතා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පූජා නො කළ යුතු ය. 22ඔබ උන් කෑ යුත්තේ, ඔබේ නගර තුළදී ය. මුව මස් හෝ ගෝන මස් හෝ පරිද්දෙන්, අපවිත්‍ර හෝ පවිත්‍ර හෝ දෙගොල්ලට ම ඉන් අනුභව කළ හැකි ය. 23එහෙත් ඔබ උගේ ලේ අනුභව නො කළ යුතු ය. වතුර මෙන් එය පොළොවේ වගුරුවා හැරිය යුතු ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in