YouVersion Logo
Search Icon

දානියෙල් 5:13-22

දානියෙල් 5:13-22 SCV

එබැවින් රජු ඉදිරියට දානියෙල් කැඳවාගෙන එන ලදී. රජ ඔහු අමතමින්, “මගේ පිය රජු යූදා රටින් ගෙන ආ වහලුන්ගෙන් කෙනකු වන දානියෙල් ඔබ ද? ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ ඇති වගත්, ඔබ තීක්ෂණ බුද්ධියෙන්, දැන උගත්කමින් හා විශිෂ්ට ප්‍රඥාවෙන් යුතු වගත් මට අසන්නට ලැබුණා. මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට පවසන්නට පඬිවරුන් ද මන්තරකරුවන් ද මා ඉදිරියට පැමිණවූවත් එය පැහැදිලි කිරීමට ඔවුනට බැරි වුණා. එහෙත් ඔබ අර්ථ විවරණයටත්, අසීරු ගැටලු විසඳීමටත් සමත් වග මට අසන්නට ලැබුණා. මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දෙන්නටත් ඔබට හැකි නම්, ඔබට රාජකීය දම් පැහැ ඇඳුම් හඳවා, රන් දමක් ගෙල පලඳා රාජ්‍යයේ තුන් වන ශ්‍රේෂ්ඨ පාලකයා බවට ඔබ පත් කෙරෙනු ඇතැ” යි කීවේ ය. එවිට දානියෙල් රජු ඉදිරියේ පිළිතුරු දෙමින්, “ඔබේ තෑගි ඔබ ම තබා ගන්න; ඔබේ දීමනා වෙන කෙනකුට දෙන්න. කෙසේ වෙතත් රජතුමාට මේ ලියා ඇති දෑ කියවා දී, එහි අර්ථය පවසන්නම්. “අහෝ රජ්ජුරුවනි, මහෝත්තම දෙවියන්වහන්සේ ඔබේ පිය රජු වන නෙබුකද්නෙසර්ට රාජ්‍යයත්, ශ්‍රේෂ්ඨත්වයත්, ගෞරවයත්, තේජශ්‍රීයත් දුන් සේක. උන්වහන්සේ ඔහුට දුන් ඒ උත්තම භාවය නිසා සියලු ජනයා, ජාතීන්, ඒ ඒ භාෂා කතා කරන මිනිසුන් යන හැමදෙන ඔහු ඉදිරියේ වෙවුලා සිටියා; ඔහු ඉදිරියේ බය වුණා; රජුට මරා දමන්නට ඕනෑ වූ අය ඔහු මරා දැම්මා; ඉතිරි කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු ඉතිරි කළා; උසස් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු උසස් කළා; යටහත් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු යටහත් කළා. එහෙත් ඔහුගේ හද උදාරම් වී, අහංකාරයෙන් දැඩි වූ කල, ඔහුගේ රාජකීය සිංහාසනයෙන් ඔහු පහ කර දමනු ලැබුවා. ඔහුගේ ගෞරවය ද ඔහු වෙතින් ඉවත් කෙරුණා. මිනිස් සමාජයෙන් පලවා හරිනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබ, ඔහු වල් බූරුවන් අතරේ වාසය කරමින්, ගවයකු මෙන් තණ කෑවා. මහෝත්තම දෙවියන්වහන්සේ මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව, උන්වහන්සේ ඒවා දෙන වගත්, ඔහු ඒත්තු ගන්නා තුරු ඔහුගේ සිරුර අහස් පින්නට තෙමුණා. “එහෙත් එම්බා බේල්ෂසර්, ඔහුගේ පුත්‍රයා වන ඔබ මේ සියල්ල දැන සිටි නමුත්, ඔබේ සිත යටත් කර ගත්තේ නැහැ.