YouVersion Logo
Search Icon

කොලොස්සි 3:5-17

කොලොස්සි 3:5-17 SCV

එබැවින් ලිංගික අනාචාරය ද අපවිත්‍රකම ද කාම තෘෂ්ණා ද විකෘති ආශා ද රූප වැඳීම වන තණ්හාව ද යන ඔබේ භූමික වූ දෑ නසාලන්න. මේ දෑ නිසා අකීකරුකමේ පුත්‍රයන් පිට දේව උදහස පැමිණේ. කලින් ඔබත් ඒවා තුළ දිවි ගෙව්වේ, එම දෑහි ගැලෙමිනි. එහෙත් දැන්: කෝපය, වියරුව, ද්වේෂය, අවලාද-අපහාස හා ඔබගේ මුඛයෙන් අසභ්‍ය කතා යන ඒ හැම දෑ දුරු කළ යුතු ය. එකිනෙකාට බොරු නො කියන්න. මන්ද ඔබගේ පැරණි ස්වභාව එහි ක්‍රියා කලාපය සමඟ ඉවත ලූ ඔබ, අලුත් ස්වභාවය පැලඳගෙන ඇත. එම ස්වභාවය, එහි මැවුම්කරුවාණන්ගේ ස්වරූපයට අනුව දැනගැන්මෙන් අලුත් කෙරේ. මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නො වූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය. එබැවින්, දෙවියන්වහන්සේ තෝරාගත් ශුද්ධ වූත්, ප්‍රේමණීය වූත් ජනයා වන ඔබ, අනුකම්පාව ද කරුණාව ද නිහතමානීත්වය ද මොළොක් ගුණය ද ඉවසිලිවන්තකම ද පැලඳ ගන්න. එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න. මේ සියලු දෑ පිරිපුන් එකමුතුවකින් එකට බඳවන ප්‍රේමය, ඒ සියල්ලට ඉහළින් පැලඳ ගන්න. එක ම සිරුරක් තුළ ඔබ කැඳවනු ලැබ ඇත්තේ සාමයට බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔබ හදවත්හි රජකම් කෙරේවා! ස්තූතිවන්ත ව ද සිටින්න. ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතු ව ඉසුරුමත් ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතු ව ගායනා කරන්න. කතාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ ඔබ කරන කවර දේ වුව, යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේ තුළින් පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේට තුති පුදමින් කරන්න.