2 සාමුවෙල් 24:1-10
2 සාමුවෙල් 24:1-10 SCV
නැවතත් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්රායෙල්ට එරෙහිව ඇවුළුණේ ය. “ගොස්, ඉශ්රායෙල් හා යූදා සංගණනයක් ගන්නැ” යි පවසමින්, උන්වහන්සේ ඔවුන්ට එරෙහිව දාවිත් පෙලඹ වූහ. එබැවින් රජු ඔහු සමඟ සිටි සෙන්පති වූ යෝවාබ් අමතා, “දාන් පටන් බෙයර්ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර වංශ අතරේ ගමන් කොට, ජනයාගේ ගණන මා දැනගන්නා පිණිස, ජන ලේඛනයක් ගන්නැ” යි පැවසී ය. එහෙත් යෝවාබ්, රජු අමතමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජනගහනය සිය ගුණයකින් වැඩි කරන සේක්වා! මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ගේ ඇසින් ම එය දකින්නට ලැබේවා! එහෙත් මෙබන්දක් කරන්නට මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට ඇති වුවමනාව මොකක් දැ?” යි ඇසී ය. කෙසේ වුව ද රජුගේ වචනයෙන් යෝවාබ් හා සෙන්පතීන් යටපත් කරනු ලැබිණි. එබැවින් ඉශ්රායෙල් ජනයා ගණන් ගැනීමට ඔවුහු රජු ඉදිරිපිටින් පිටත් ව ගියහ. ඔවුහු යොර්දානෙන් එතෙර ව, අරෝයෙර්හි කඳවුරු බැඳගෙන, දකුණෙන්, එනම් දොරුව මැද පිහිටි නගරයෙන් පටන් ගෙන, ගාද් හරහා යාසේර් දක්වා ගමන් ගත්හ. ඉන්පසු ඔවුහු ගිලියාද් දක්වා පැමිණ, එතැනින් තාතීම්-හොද්ෂී දේශය වෙත පැමිණ, දාන්-යාන් වෙත ගොස්, සීදොන් වෙත වටේට ගියහ. ඉන්පසු ඔවුහු තීර්හි බළකොටුව දෙසට ද හිවීවරුන්ගේ හා කානානිවරුන්ගේ සියලු නගරවලට ද ගියහ. ඔවුහු යූදාවේ දකුණ දෙස වූ බෙයර්ෂෙබා වෙත ද ගියහ. මෙසේ දේශය මුළුල්ලේ සැරි සැරූ පසු, නව මසකුත් දින විස්සක් අවසානයේ ඔවුහු ආපසු යෙරුසලමට ආහ. යෝවාබ් ගණන් කරන ලද ජන සංඛ්‍යාව රජුට වාර්තා කළේ ය. අසිපත් දරන සවි සම්පන්න ඉශ්රායෙල් ජනයා අට ලක්ෂයක් විය. යූදා මිනිස්සු පන් ලක්ෂයක් වූහ. ජන සංගණනය ගත් පසු, දාවිත්ගේ හද ඔහුට ම දොස් තැබී ය. ඔහු ස්වාමින්වහන්සේ අමතමින්, “මේ දේ කිරීමෙන් මම අතිශයෙන් පව් කළෙමි. දැන් අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ මෙහෙකරුගේ අපරාධය පහ කරන මෙන් අයදිමි. මන්ද මා ක්‍රියා කළේ මහත් අනුවණකමකිනි” යි පැවසී ය.





