YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 1:2-8

1 තෙසලෝනික 1:2-8 SCV

අපගේ යාච්ඤාවලදී ඔබ සිහි කරමින්, ඔබ හැම ගැන නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු. ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳ ව අපි සිහි කරන්නෙමු. දෙවියන්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, උන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැව් අපි දනිමු. මන්ද අපගේ ශුභාරංචිය ඔබ වෙත ආවේ, හුදෙක් වචන මගින් පමණක් නො වේ; බලයෙන්, ශුද්ධාත්මයාණන්ගෙන් හා සහතික විශ්වාසයකින් යුතු ව ය. ඔබ උදෙසා අප කෙලෙස ඔබ අතරෙහි විසුවාදැයි ඔබ දන්නහු ය. දැඩි පීඩා අතරදීත්, ශුද්ධාත්මයාණන්ගෙන් ලද ප්‍රීතියෙන් යුතු ව පණිවුඩය පිළිගැනීමෙන් ඔබ අපත්, ස්වාමින්වහන්සේත් අනුකරණය කරන්නන් වූහ. මෙසේ ඔබ මකිදෝනිය හා අකායයෙහි ඇදහිලිවතුන් හැමට ආදර්ශයක් වූහ. ස්වාමින්වහන්සේගේ පණිවුඩ-රාවය ඔබ වෙතින් මකිදෝනිය හා අකාය පළාත් තුළ පැතිර ගියා පමණක් නො ව, දෙවියන්වහන්සේ කෙරේ ඇති ඔබගේ ඇදහිල්ල ගැන අන් හැම තැන පතළවී ඇති බැවින්, අප ඒ ගැන කිසිවක් කීම අවැසි නො වේ.