YouVersion Logo
Search Icon

1 රාජාවලිය 21:1-16

1 රාජාවලිය 21:1-16 SCV

සමාරියේ රජු වූ ආහාබ්ගේ රජ මැදුරට යාබදව යෙස්රෙයෙලීය නාබොත් සතු මිදි වත්තක් යෙස්රෙයෙල්හි පිහිටා තිබිණි. කලකට පසු ආහාබ්, නාබොත් අමතමින්, “ඔබේ මිදි වත්ත මගේ මැදුරට යාබදව ඇති නිසා, එළවළු කොටුවකට මට එය දෙන්න. ඒ වෙනුවට මම ඔබට මීට වඩා හොඳ මිදි වත්තක් දෙන්නම්; නැතහොත් ඔබේ කැමැත්තට අනුව එහි වටිනාකම ඔබට ගෙවන්නම්” යැයි පැවසී ය. එහෙත් නාබොත්, ආහාබ්ට පිළිතුරු දෙමින්, “මගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමින්වහන්සේ මා වළක්වන සේක්වා!” යි පැවසී ය. යෙස්රෙයෙලීය නාබොත්, “මගේ පියවරුන්ගේ උරුමය මා ඔබට දෙන්නේ නැතැ” යි කී හෙයින්, ආහාබ් නො සතුටු ව, කෝපයෙන් ගෙදර ගියේ ය. ඉවතට හරවා ගත් මුහුණින් යුතු ව තම යහන මත වැතිරී සිටි ඔහු, කෑම ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහුගේ බිරිඳ යෙසෙබෙල් අවුත්, ඔහු අමතා, “ඔබ සිත නො සතුටු ව තිබෙන්නේත්? කෑම නො කා සිටින්නේත් මන්දැ?” යි ඇසුවා ය. ඔහු ඇයට පිළිතුරු දෙමින්, “මා යෙස්රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත, එහි වටිනාකමට මට විකුණන්න; නැති නම් ඔබ කැමති පරිදි ඒ වෙනුවට මා වෙනත් මිදි වත්තක් දෙන්නම්’ කීවා. එහෙත් ඔහු, ‘මගේ මිදි වත්ත මා ඔබට දෙන්නේ නැතැ’ යි මට කීවා” යි කීවේ ය. ඔහුගේ බිරිඳ යෙසෙබෙල් එවිට, “ඉශ්‍රායෙල් රජු හැටියට ඔබ වැඩ කරන්නේ මෙහෙම ද? නැගිට කෑම කන්න! ප්‍රීති වන්න. සතුටු වන්න. යෙස්රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත මම ඔබට ලබා දෙන්නම්” යැයි පැවසුවා ය. එබැවින් ඈ ආහාබ්ගේ නමින් ලිපි ලියා, ඔහුගේ මුද්‍රාව තබා, නාබොත්ගේ පුරවරයේ ඔහු සමඟ විසූ වැඩිහිටියන් හා වංශාධිපතීන් වෙත යැවුවා ය. “උපවාස දවසක් ප්‍රකාශ කොට, ජනතාව අතර මුලසුනේ නාබොත් හිඳුවන්න. එහෙත් ඔහුට ඉදිරිපිටින් දුර්ජනයින් දෙදෙනකු හිඳුවා, දෙවියන්වහන්සේටත්, රජුටත් ඔහු ශාප කළ වගට ඔවුන් විසින් සාක්ෂි දීමට සලස්වන්න. ඉන්පසු ඔහු පිටතට ගෙන ගොස්, ගල් ගසා මරා දමන්නැ” යි ඈ එම ලිපිවල ලීවා ය. එබැවින් නාබොත්ගේ පුරවරයේ වැඩිහිටියෝ සහ වංශාධිපතීහු තමන්ට යෙසෙබෙල් ලියන ලද ලිපිවල ඇය අණ කර තිබූ හැටියට කළහ. ඔවුහු උපවාසයක් ප්‍රසිද්ධ කොට, ජනයා අතර මුලසුනේ නාබොත් හිඳ වූහ. ඉන්පසු දුර්ජනයින් දෙදෙනෙක් අවුත්, ඔහු ඉදිරිපිට හිඳගෙන, ජනයා ඉදිරියේ, “නාබොත් දෙවියන්වහන්සේටත්, රජුටත් ශාප කළේ යැ” යි පවසමින්, නාබොත්ට එරෙහිව චෝදනා නැගූහ. එබැවින් ඔවුහු පුරවරයෙන් පිටතට ඔහු රැගෙන ගොස්, ගල් ගසා, මරා දැමූහ. ඉන්පසු ඔවුහු යෙසෙබෙල් වෙත පණිවුඩ යවමින්, “නාබොත් ගල් ගසනු ලැබ, මිය ගියේ යැ” යි දැන්වූහ. නාබොත් ගල් ගසනු ලැබ, මිය ගිය වග යෙසෙබෙල් ඇසූ විගස ආහාබ් ඇමතූ ඈ, “නැගිටින්න, යෙස්රෙයෙලීය නාබොත්, ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත අයිති කර ගන්න. ඔහු දැන් ජීවතුන් අතර නැත. ඔහු මැරිලා” යි පැවසුවා ය. නාබොත් මිය ගිය වග ඇසූ ආහාබ් නැගිට, යෙස්රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කර ගැනීමට පිටත් ව ගියේ ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 21:1-16