YouVersion Logo
Search Icon

1 කොරින්ති 7:17-38

1 කොරින්ති 7:17-38 SCV

හැම කෙනකු ම ස්වාමින්වහන්සේ එකිනෙකාට පැවරූ ප්‍රකාරයට, තමාට දෙවියන්වහන්සේගේ කැඳවීමට අනුව, ජීවිතය ගෙන යා යුතු ය. සියලු සභා තුළ මගේ නියෝගය මෙයයි. යමෙක් කැඳවීම ලබන කල, චර්මඡේදිත ව සිටියේ ද, ඔහු චර්ම-ඡේදන ලකුණු ඉවත් කර ගැනීමට නො සොයත්වා. යමෙක් කැඳවීම ලබන කල, චර්මඡේදිත ව නො සිටියේ ද, ඔහු චර්මඡේද වන්නට නො සොයත්වා. මන්ද ගණන් ගැනෙන්නේ චර්ම-ඡේදනය හෝ චර්ම අඡේදනය හෝ නො ව, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීම ය. හැම කෙනෙක් ම තමන් කැඳවීම ලබන විට සිටි තත්වයෙහි ම පැවතිය යුතු ය. කැඳවීම ලබන කල, ඔබ වහලකු ව සිටියේ ද? ඒ ගැන කරදර නො වන්න. එහෙත්, නිදහස ලබා ගත හැකි නම්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මන්ද වහලකු ලෙස ස්වාමින්වහන්සේ තුළ කැඳවීම ලද තැනැත්තා, ස්වාමින්වහන්සේගේ නිදහස් මිනිසෙකි. එලෙස ම නිදහස් මිනිසකු ව සිටියදී කැඳවීම ලද තැනැත්තා, ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙකි. මිලයක් ගෙවා, ඔබ මිලයට ගනු ලැබ ඇත. මිනිසුන්ගේ වහලුන් නො වන්න. සහෝදරයිනි, එබැවින් තමන් කැඳවීම ලද්දේ කවර තත්වයක සිටියදී ද, දෙවියන්වහන්සේ සමඟ ඔහු එහිම පැවත සිටීවා. දැන්, කන්‍යාවන් පිළිබඳව: මේ සම්බන්ධ අණක් ස්වාමින්වහන්සේගෙන් මට ලැබී නැත. එහෙත්, ස්වාමින්වහන්සේගේ දයාව හේතු කොට විශ්වාසය දිනූ කෙනකු වශයෙන් මම මගේ තීරණය දන්වමි. වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ, කෙනෙක් දැන් සිටින අයුරින් ම සිටීම යෙහෙකැයි මම සිතමි. ඔබ භාර්යාවකට බැඳී සිටී ද? නිදහස් වන්නට නො සොයන්න. ඔබ භාර්යාවකගෙන් නිදහස් ද? භාර්යාවක නො සොයන්න. එහෙත් ඔබ විවාහ වුවත්, එය පාපයක් නො වේ. තවද කන්‍යා ස්ත්‍රියක් විවාහ වුවත්, එය පාපයක් නො වේ. එහෙත් විවාහ වන්නන්ට ලෞකික කරදර ඇති වේ. මා කරන්නේ ඔබ ඉන් වැළැක්වීමයි. සහෝදරයිනි, මා අදහස් කරන්නේ මෙයයි. ඉතිරි වී ඇති කාලය කෙටි ය. භාර්යාවන් ඇති අය මෙතැන් පටන් භාර්යාවන් නැත්තන් මෙන් වෙසෙත්වා. ශෝක වන්නන්, ශෝක නො වූවන් මෙන් ද ප්‍රීති වන්නන්, ප්‍රීති නො වූවන් මෙන් ද මිලයට ගන්නන්, අයිති නැත්තන් මෙන් ද ලෝකයේ සැප විඳින්නන්, ඒවායේ නො ගැලෙන්නන් මෙන් ද වෙත්වා. මන්ද මේ වත්මන් ලෝකය පහ වී යන්නේ ය. ඔබ කනස්සලු වීමෙන් තොර ව සිටීම මගේ කැමැත්තයි. අවිවාහක මිනිසා, ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වෙයි. එහෙත්, විවාහක මිනිසා, තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වෙයි. ඔහුගේ උනන්දුව දෙපිල බෙදෙයි. අවිවාහක ස්ත්‍රිය නැතහොත් කන්‍යාවිය ශාරීරික ව හා ආත්මික ව ශුද්ධ ව සිටින්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වන්නී ය. එහෙත් විවාහක ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයා සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වන්නී ය. මා මෙසේ කියන්නේ ඔබේ ම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය. තමා විවා ගිවිසි කන්‍යාවිය සම්බන්ධ ව තමා නුසුදුසු ලෙස ක්‍රියා කර ඇතැයි යමෙක් සිතත් නම්, විවාහයට නිසි ඇගේ කල වයසත් පසුවී යේ නම්, ඇය ආවාහ කර ගත යුතු යයි ඔහුට හැඟේ නම්, ඔහු කැමති ලෙස කරත්වා. එය පාපයක් නො වේ. එහෙත්, තම හදවත නො වෙනස් ව තබාගෙන, කිසි බලපෑමක් ද නැතිව, තම ආශා හික්මවාගෙන, විවා ගිවිසි කන්‍යා-තරුණිය හා එක් නො වීමට හදින් අදිටන් කොට, ඒ ගැන ස්ථිර නිගමනයකට පැමිණි තැනැත්තා කරන්නේ ද හරි දෙයයි. මෙසේ තම කන්‍යාවිය ආවාහ කර ගන්නා හරි දේ කරයි. එසේ විවාහ වීමෙන් වැළකී සිටින්නා වඩා හරි දේ කරයි.