YouVersion Logo
Search Icon

1 ලේකම් 11:1-47

1 ලේකම් 11:1-47 SCV

ඉන්පසු මුළු ඉශ්‍රායෙල් දාවිත් වෙත හෙබ්‍රොන්ට එක් රැස් ව, ඔහු අමතමින්, “මෙන්න, අප ඔබේ ම ඇට හා මාංශයි. සාවුල් අපට රජකම් කළ ඉකුත් සමයේදීත්, ඉශ්‍රායෙල් යුධ මෙහෙයුම්වල පෙරමුණ ගත්තේ ඔබයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කතා කොට, ‘ඔබ, මගේ ඉශ්‍රායෙල් ජනයාට එඬේරාණන් වනු ඇත; ඔබ මගේ ඉශ්‍රායෙල් ජනයාගේ පාලකයා වන්නේ ය’ කියා කී සේකැ” යි කීහ. ඉශ්‍රායෙල් සියලු වැඩිහිටියන් හෙබ්‍රොන්හි රජු වෙත ආ කල, දාවිත් හෙබ්‍රොන්හි දී ස්වාමින්වහන්සේ අබියස ඔවුන් සමඟ ගිවිසුමක් කළේ ය. එවිට ඔවුන් ඉශ්‍රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කළේ ස්වාමින්වහන්සේ සාමුවෙල් මගින් පොරොන්දු වූ පරිදි ය. දාවිත් හා සියලු ඉශ්‍රායෙල්වරු යෙරුසලමට හෙවත් යෙබූස්ට ගමන් ගත්හ. ඒ දේශයේ විසූවෝ යෙබූසිවරු ය. යෙබූසිවරු දාවිත්ට කතා කොට, “ඔබ මෙහි ඇතුල් වෙනවා එහෙම නො වෙයි” කීහ. එහෙත් දාවිත් සියොන් බළකොටුව අල්ලා ගත්තේ ය. එය දාවිත් පුරවරයයි. දාවිත් කතා කොට, “පළමුවෙන් යෙබූසිවරුන්ට පහර දෙන කවුරු වුවත් ප්‍රධානියා හා අණ දෙන්නා වන්නේ යැ” යි කීවේ ය; සෙරූයාගේ පුත් යෝවාබ් පළමු ව නැගිට ගොස්, අණ දෙන්නා බවට පත් විය. දාවිත් බළකොටුවේ පදිංචි විය. එබැවින් එය දාවිත් පුරය නමින් හැඳින්විණි. ඔහු මිල්ලෝ පටන් වටේට පුරය ගොඩ නැගී ය. පුරයේ ඉතිරි කොටස යෝවාබ් පිළිසකර කළේ ය. සේනාංකවල ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ බැවින් ඔහු වඩ වඩා බලවත් විය. දාවිත්ගේ බලවත් රණශූරයින් වූ ප්‍රධානීහු මොවුහු ය; ඉශ්‍රායෙල් ගැන ස්වාමින්වහන්සේගේ වචනය පරිදි ඉශ්‍රායෙල්වරු සියල්ලන් හා සමඟ ඔහුගේ රාජ්‍යයෙහි ඔහු රජකමට පත් කරවන්නට ඔවුහු ප්‍රබල සහයෝගයක් දුන්හ. දාවිත්ගේ බලවත් රණශූරයින්ගේ නාමාවලිය මෙසේ ය: හක්මොන් වංශික යාෂොබෙයාම් ය, ඔහු නිලධාරීන්ගේ ප්‍රධානියා ය. එක් විටෙකදී ඔහු තම හෙල්ලය මිනිසුන් තුන්සිය දෙනකුට එරෙහිව ඔසවා, ඔවුන් මරා දැමී ය. ඔහු ළඟට අහෝහීය දෝදෝගේ පුත් එලෙයාසර් ය. ඔහු බලවත් රණශූරයින් තිදෙනාගෙන් කෙනෙකි. යුද්ධ කරන්නට පිලිස්තිවරුන් පස්දම්මීම්හි එකට රැස් වූ කල, ඔහු දාවිත් සමඟ සිටියේ ය. එතැන යවවලින් ගහන කෙතක් තිබිණි. හේවායෝ පිලිස්තිවරුන් වෙතින් පලා ගියහ. එහෙත් ඔහු කෙත මැද නො සැලී සිට එය රැක ගනිමින්, පිලිස්තිවරුන්ට පහර දී, ඔවුන් බිම හෙළී ය. ස්වාමින්වහන්සේ ඔවුන්ට මහත් ජයක් ගෙන දී ඔවුන් ගැලෙවූ සේක. ප්‍රධානීන් තිස්දෙනාගෙන් තුන් දෙනෙක් අදුල්ලාම් ගුහාවෙහි සිටි දාවිත් වෙත පර්වතයට ආහ. ඒ අතර පිලිස්ති හමුදාවක් රෙෆායිවරුන්ගේ මිටියාවතේ කඳවුරු බැඳ සිටියහ. එදවස්හි දාවිත් බළකොටුවේ සිටියේ ය. පිලිස්ති මුර හමුදාව බෙත්ලෙහෙමේ කඳවුරු බැඳ සිටියේ ය. දාවිත්ට දැඩි ආශාවක් ඇති වී, “අහෝ බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිඳෙන් කවුරුන් හෝ මට බොන්නට දිය ගෙනැවිත් දේ නම්!” යි කීවේ ය. එබැවින් මේ බලවත් රණශූරයින් තිදෙනා පිලිස්ති මුර පොළට කඩා වැද, ඒ මැදින් ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිදෙන් දිය ඇද, දාවිත් වෙත ඒවා ගෙන ආහ. එහෙත් දාවිත් ඒවා බොන්නට අකමැති ව, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඒවා වැගිරවී ය. “මේ දේ කිරීමෙන් දෙවියන්වහන්සේ මා වළකන සේක්වා! තමන්ගේ ජීවිත පරදුවට තබා, එහි ගිය මේ මිනිසුන්ගේ ලේ මම පානය කරම් දැ?” යි ඔහු පැවසී ය. එබැවින් ඔහු ඒ දිය බොන්නට අකමැති විය. එම බලවත් රණශූරයින් තිදෙනාගේ වික්‍රම එබඳු ය. යෝවාබ්ගේ සහෝදරයා වූ අබිෂයි, තිදෙනාගේ ප්‍රධානියා විය. තම හෙල්ලය මිනිසුන් තුන්සිය දෙනකුට එරෙහිව ඔසවා ඔවුන් මරා දැමූ ඔහු මුල් තිදෙනා මෙන් කීර්තියට පත් විය. ඒ තිදෙනාට වඩා දෙගුණයක ගරුත්වයක් ඔහු හෙබවී ය. ඔහු ඔවුන්ගේ සෙන්පතියා ද විය. එහෙත් ඔහු ඔවුන් අතරට ඇතුළත් නො විණ. යෙහෝයාදාගේ පුත් බෙනායා, කබ්සෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් විය; ඔහු මහත් ක්‍රියාකාරකම් කරන්නෙක් විය. ඔහු මෝවබ්හි ප්‍රබලතම විරුවන් දෙදෙනකු ගසා හෙළී ය. හිමෙන් වැසුණු දිනෙක ඔහු වළකට බැස, සිංහයකු ද මැරී ය. තවද ඔහු රියන් පහක් උස ඊජිප්තු ජාතිකයකු ගසා හෙළී ය. ඊජිප්තුවාගේ අතේ වියන්නකුගේ දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණ ද බෙනායා ඔහුට එරෙහිව ගියේ මුගුරක් අතැතිව ය. ඊජිප්තුවාගේ අතින් හෙල්ලය පැහැර ගත් ඔහු ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුට ඇන, ඔහු මරා දැම්මේ ය. යෙහෝයාදාගේ පුත් බෙනායාගේ වික්‍රම එබඳු ය. බලවත් රණශූරයින් තිදෙනා සේ ම ඔහුත් නමක් දිනා ගත්තේ ය. තිස්දෙනාගෙන් කවරකුටත් වඩා උසස් වූ ගරුත්වයක් ඔහු දැරූ නමුදු, තුන් දෙනා අතරට ඔහු ඇතුළත් නො විණ. දාවිත් තමාගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ප්‍රධානියා ලෙස ඔහු පත් කළේ ය. බලවත් රණශූරයින් මොවුහු ය: යෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් ය, බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන් ය, හරෝරීය ෂම්මොත් ය, පෙලෝනීය හෙලෙස් ය, තෙකෝවාහි ඉක්කේෂ්ගේ පුත් ඊරා ය, අනාතොත්හි අබියෙසෙර් ය, හුෂාතීය සිබ්බෙකයි ය, අහෝහීය ඉලයි ය, නෙටොෆාහි මහරයි ය, නෙටොෆාහි බානාගේ පුත් හේලෙද් ය; බෙන්යමින් ජනයාගේ ගිබෙයාවෙන් රීබයිගේ පුත් ඊතයි ය, පිරාතෝනීය බෙනායා ය, ගාෂ්හි ගිරිකඳුරුවල හූරයි ය, අර්බාතීය අබියෙල් ය, බර්හුමීය අස්මාවෙත් ය, ෂාල්බොනීය එලියාබා ය, ගිසොන් වංශික හාෂේම්ගේ පුත්තු ය, හරාරීය ෂාගේගේ පුත් යොනාතාන් ය, හරාරීය සාකාර්ගේ පුත් අහියාම් ය, ඌර්ගේ පුත් එලීෆල් ය, මෙකෙරාත් වංශික හේෆෙර් ය, පෙලෝනීය අහියා ය, කර්මෙලීය හෙස්රෝ ය, එස්බායිගේ පුත් නාරයි ය, නාතාන්ගේ සහෝදරයා වූ යෝවෙල් ය, හග්රීගේ පුත් මිබ්හාර් ය, අම්මොනීය සෙලෙක් ය, සෙරූයාගේ පුත් යෝවාබ්ගේ ආයුධ ගෙන යන්නා වන බෙයේරොතීය නහරයි ය, ඉත්රීය ඊරා ය, ඉත්රීය ගාරේබ් ය; හිත්තීය ඌරියා ය, ආලයිගේ පුත් සාබාද් ය, රූබෙන්වරුන්ගේ ප්‍රධානියා වූ රූබෙන් වංශික ෂිසාගේ පුත් අදීනා හා ඔහු සමඟ සිටි තිස්දෙනා ය, මයකාගේ පුත් හානාන් ය, මිත්නි වංශික යෝෂාෆාට් ය, අෂ්තෙරාතීය උසීයා ය, අරෝයෙර්හි හෝතාම්ගේ පුතුන් වූ ෂාමා හා යෙයීයෙල් ය, ෂිම්රීගේ පුත් යෙදීයයෙල් ය, ඔහුගේ සහෝදර තීස් වංශික යෝහා ය, මහවීය එලියෙල් ය, එල්නාම්ගේ පුතුන් වූ යෙරීබයි හා යෝෂවියා ය, මෝවබ් ජාතික ඉත්මා ය, එලියෙල්, ඕබේද් හා මෙසොබයි වංශික යාසීයෙල් ය.