YouVersion Logo
Search Icon

1 ලේකම් 10:1-14

1 ලේකම් 10:1-14 SCV

තවද පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට එරෙහිව සටන් වැදුණහ. ඉශ්‍රායෙල්වරු ඔවුන් ඉදිරියෙන් පලා ගොස්, ගිල්බෝව කන්දේදී මැරුම් කා, වැටුණහ. පිලිස්තිවරු, සාවුල් හා ඔහුගේ පුතුන් පසු පස දැඩි ව ලුහුබැඳ ගොස්, සාවුල්ගේ පුතුන් වූ යොනාතාන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මරා දැමූහ. සටන සාවුල්ට එරෙහිව බිහිසුණු විය. ඔහු දුනුවායන්ට අසු විය. දුනුවායෝ ඔහුට තුවාල කළහ. එවිට සාවුල් තම ආයුධ දරන්නාට කතා කොට, “නුඹේ අසිපත ඇද, මා පසාරු කර ගෙන යෑමට මට අනිනු! නැතහොත් මේ චර්ම-අඡේදිතයන් අවුත්, මට ඇන, මට අවනම්බු කරනු ඇතැ” යි පැවසී ය. එහෙත් ඔහුගේ ආයුධ දරන්නා අතිශයෙන් බියට පත් ව සිටි බැවින් එසේ කළේ නැත. එබැවින් සාවුල් තම අසිපත ගෙන, ඒ මත වැටුණේ ය. සාවුල් මැරුණු වග දුටු ඔහුගේ ආයුධ දරන්නා ද තම අසිපත මත වැටී, මළේ ය. මෙසේ සාවුල් ද ඔහුගේ පුතුන් තිදෙනා ද ඔහුගේ මුළු වංශය ද එක් ව මළහ. තම හමුදාව පලා ගොස් ඇති වගත්, සාවුල් හා ඔහුගේ පුතුන් මැරුණු වගත් දුටු මිටියාවතේ සිටි සියලු ඉශ්‍රායෙල් ජනයා තම නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත්, ඒවායේ පදිංචි වූහ. පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලකෑමට පැමිණි කල, සාවුල් හා ඔහුගේ පුතුන් ගිල්බෝව කන්දේ වැටී සිටිනු දුටුවහ. ඔවුහු ඔහු නිරුවත් කොට, ඔහුගේ හිසත්, ඔහුගේ ආයුධත් ගෙන, තම දේව පිළිම හා තම ජනයා අතරේ එපුවත් පතළ කරන පිණිස පිලිස්ති දේශය මුළුල්ලේ පණිවුඩකරුවන් යැවූහ. ඔවුහු ඔහුගේ ආයුධ තම දෙවියන්ගේ දේවාලෙහි තබා, ඔහුගේ හිස දාගෝන්ගේ දෙවොලෙහි එල්ලා තැබූහ. යාබේෂ්-ගිලියාද් වාසී සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ දෑ ඇසූ විට, ඔවුන්ගේ සියලු වික්‍රමාන්විත පුරුෂයෝ අවුත්, සාවුල්ගේ ද ඔහුගේ පුතුන්ගේ ද මළ-සිරුරු රැගෙන ගියහ. ඔවුහු ඒවා යාබේෂ් වෙත ගෙනැවිත්, ඔවුන්ගේ ඇටකටු ඒලා ගස යට භූමදාන කර, හත් දවසක් නිරාහාර ව සිටියහ. සාවුල් ස්වාමින්වහන්සේට අවිශ්වාසවන්ත වූ බැවින් මෙසේ මළේ ය; ඔහු ස්වාමින්වහන්සේගේ වචනය රක්ෂා කළේ නැත. ඔහු ආත්ම බන්ධනකාරියකගෙන් පවා උපදෙස් ලබා ගත් නමුදු, ස්වාමින්වහන්සේගෙන් විමසුවේ නැත. එබැවින් ස්වාමින්වහන්සේ ඔහු නසා, ඔහුගේ රජකම යෙස්සේගේ පුත් දාවිත්ට පැවරූ සේක.