හිතෝපදේශ 3:1-18
හිතෝපදේශ 3:1-18 SNRV
මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපනත් ඔබ හද තුළ රැකගන්න. එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය. පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය. හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත. ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න. එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත. මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න. පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක. ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත! එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය. ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය. දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය, ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි. ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!





