YouVersion Logo
Search Icon

නික්මයාම 40:18-34

නික්මයාම 40:18-34 SNRV

මෝසෙස් ද මණ්ඩපය ඉදි කොට, එහි තවු සවි කර, ලෑලි ගසා, හරස් ලී දමා, එහි කුලුණු කෙළින් කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබී ය. පසුව ඔහු දස පනතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය. ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය. මණ්ඩපයේ උතුරු පසට තිරයෙන් පිටත ඔහු සම්මුඛ මණ්ඩපය තුළ මේසය තැබී ය. පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් පූප තැබී ය. සම්මුඛ මණ්ඩපය තුළ මේසය කෙළින් ම මණ්ඩපයේ දකුණු පසට ඔහු පහන් රුක සිටුවා, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය. සම්මුඛ මණ්ඩපය තුළ තිරය ඉදිරිපිට රන් පූජාසනය තබා උන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු එය මත සුවඳ ද්‍රව්‍ය දැල්විය. මණ්ඩපයේ දොරකඩ කඩතුරාව ද එල්ලී ය. පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය. සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර ඔහු වතුර භාජනය තබා, පවිත්‍ර කරගන්නා පිණිස එහි වතුර වත් කෙළේ ය. මෝසෙස් සහ ආරොන් ද ආරොන්ගේ පුත්‍රයෝ ද තම අත් පා එහි සෝදාගත්හ. ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ. ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය. එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය.