ක්‍රියා 5:27-42
ක්‍රියා 5:27-42 SNRV
ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා, “මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ. එවිට පේදුරු සහ අපෝස්තුළුවරු පිළිතුරු දෙමින්, “අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය. අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක. එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය. මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ. ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ. එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, අපෝස්තුළුවරුන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය: “ඉශ්රායෙල් ජනයිනි, ඔබ මේ මිනිසුන්ට කරන්නට යන දේ ගැන පරිස්සම්වන්න. ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ. ඔහුට පසු, සංගණනය කළ දවස්වල ගලීලයේ ජූදස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ ය. ඔහු ද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝ ද විසුරුවනු ලැබූ හ. ඉදින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ, මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින්න කියාත්, තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත් ය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම්, එය කඩාකප්පල් වන්නේ ය. එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ. ඉන්පසු ඔව්හු අපෝස්තුළුවරුන් තමන් වෙතට ගෙන්වා, කස පහර දී, ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරන්නට අණ කොට ඔවුන් නිදහස් කර යැවූ හ. එවිට අපෝස්තුළුවරු ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ. තවද ඔව්හු, දිනපතා ම දේව මාලිගාවේ ද ගෙදරක් ගෙදරක් පාසා ද ඉගැන්වීමෙහිත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්න දේශනා කිරීමෙහිත් නිරත වූ හ.





