YouVersion Logo
Search Icon

ක්‍රියා 5:17-32

ක්‍රියා 5:17-32 SNRV

එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට, අපෝස්තුළුවරුන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ. එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට, “යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය. ඔව්හු ඒ අසා අලුයම දේව මාලිගාවට පිවිස ඉගැන්වූ හ. ඒ අතරතුර, උත්තම පූජකයා ද පිරිවර ද පැමිණ, මුළු ඉශ්රායෙල් උත්තර මණ්ඩලය ඇතුළු මන්ත්‍රණ සභාව රැස් කරවා, අපෝස්තුළුවරුන් ගෙනෙන පිණිස හිරගෙදරට නියෝගයක් යැවූ හ. එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: “සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බව ද දුටිමු; එහෙත් දොර ඇරිය කල ඇතුළේ කිසිවෙක් අපට හමු නො වූ හ.” දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ. එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය. දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් අපෝස්තුළුවරුන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් අපෝස්තුළුවරුන්ට කිසි හිරිහැරයක් නොකළහ. ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා, “මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ. එවිට පේදුරු සහ අපෝස්තුළුවරු පිළිතුරු දෙමින්, “අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය. අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක. එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය. මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 5:17-32