ක්‍රියා 22:22-30
ක්‍රියා 22:22-30 SNRV
ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ. ඔව්හු කෑගසමින්, තමන්ගේ උතුරු සළු ගලවා උඩ වීසි කරමින් ධූලි ඉහළට දමමින් සිටියෝ ය. එබැවින් සේනාධිපතියා ඔහු බලකොටුවට ගෙන යන්නට අණ කොට, කුමන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධ ව එසේ මොරගැසුවෝ දැ යි දැන ගන්නා පිණිස, ඔහුට කසයෙන් තළා විභාග කරන්නට නියම කෙළේ ය. එහෙත් කසයෙන් තැළීම සඳහා ඔවුන් ඔහු බැන්ද විට පාවුලු කතා කොට, “රෝම පුරවැසියෙකු විනිශ්චය නොකොට ඔහුට කසයෙන් තළවන්නට ඔබට නීතියෙන් බලයක් තිබේ දැ”යි ළඟ සිටි ශතාධිපතියාට කී ය. ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, “ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය. එවිට සේනාධිපතියා අවුත්, “ඔබ රෝම පුරවැසියෙක් දැ”යි ඔහුගෙන් ඇසී ය. “එසේ ය”යි පාවුලු කී ය. සේනාධිපතියා, “මම බොහෝ මිල දී මේ පුරවැසිකම ලබා ගතිමි”යි කී ය. පාවුලු ද “මම උත්පත්තියෙන් ම රෝම පුරවැසියෙක්මි”යි කී ය. ඔහු විභාග කරන්නට සිටි අය එවේලේ ම ඔහු වෙතින් අහක් ව ගියහ. පාවුලු රෝම පුරවැසියකු බව දැන ගත් කල සේනාධිපතියා ඔහු බැඳ තැබීම ගැන බියට පත් විය. පසුවදා ජුදෙව්වරුන් කුමන කාරණයක් ගැන පාවුලුට වරද තබත් දැ යි හරියාකාර දැනගන්න සේනාධිපතියා කැමැති විය. එබැවින් ඔහු පාවුලු මුදා, නායක පූජකයන් සහ මුළු මන්ත්‍රණ සභාව රැස් කරවා ඔවුන් ඉදිරියට කැඳෙව්වේ ය.





