YouVersion Logo
Search Icon

ගීතාවලිය 60

60
පරාජයේ දී ජාතික යැදුමක්
මෙය ප්‍රසිද්ධ ආඥාවක් වශයෙන් ඉගැන්වීමට ය. මෙය ඉගැන්විය යුතු දාවිත්ගේ සංගීතයකි. දාවිත් ආරම්-නහරයිම් සහ ආරම්-ශෝබා නමැති අය සමඟ සටන් කරන විට, ජෝවාබ් හැරී අවුත් ලවණ නම් මිටියාවතේ දී ඒදොමිය ජාතිකයන්ගෙන් දොළොස් දහසකට පහර දුන් පසු මෙය ලියන ලදී.
1 # 2 සාමු 8:13; 1 වංශා 18:12 අහෝ දෙවිඳුනි!
ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක;
ඔබ උදහස් වූ සේක.
අප වෙත යළි වැඩිය මැනව.
2ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක;
කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව.
3ඔබ ජනතාවට දුක් විඳින්නට සැලැසූ සේක;
වෙරිමත් කරවන මිදියුස ඔබ අපට පෙවූ සේක.
4ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක;
එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
5ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව;
අපේ යැදුමට පිළිතුරු දුන මැනව.
6දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක:
“විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි;
සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කර දෙන්නෙමි.
7ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය;
එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය;
ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
8මෝවබ් පෙදෙස මාගේ පා දෝවන බඳුන වන්නේ ය;
මාගේ පාවහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි;
පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”
9කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද?
ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙනයන්නේ කවරෙක් ද?
10අහෝ දෙවිඳුනි!
ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද?
අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?
11එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව.
මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
12දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු;
එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 60