YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 17:1-13

ශුද්ධවර මතෙව් 17:1-13 NRSV

සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ඔහුගේ සහෝදර ජොහන් ද කැඳවාගෙන, වෙන් ව උස් කන්දකට වැඩිය සේක. උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය. එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි. පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස්ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි. ශ්‍රාවකයෝ ඒ අසා, අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ. ජේසුස් වහන්සේ අවුත්, ඔවුන්ට අත ගසා, “නැඟිටින්න, බිය නොවන්නැ”යි වදාළ සේක. ඇස් ඔසවා බැලූ කල ඔව්හු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝ ය. ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 17:1-13