YouVersion Logo
Search Icon

උත්පත්ති 47:13-27

උත්පත්ති 47:13-27 NRSV

එකල මුළු රටෙහි ම ආහාර නොතිබිණි. සාගතය කෙතරම් දරුණු වී ද යත්, මිසර දේශය හා මුළු කානාන් දේශය දුර්භික්ෂය නිසා සාගින්නෙන් පෙළුණි. ජෝසෙප් මිනිසුන්ට ධාන්‍ය විකුණා මිසර දේශයෙහි හා කානාන් දේශයෙහි සියලු මුදල් එකතු කොට ඒ මුදල් රාජකීය භාණ්ඩාගාරයෙහි තැන්පත් කෙළේ ය. මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, “අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ. එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි”යි කී ය. ඔව්හු තමන්ගේ ගව පට්ටි ජෝසෙප් වෙත ගෙනාහ. ඔහු අසුන්, එළු බැටළු රංචු, ගව රැළ හා කොටළුවන් හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙලෙස අවුරුද්ද තුළ දී ඔවුන්ගේ ගව පට්ටි සියල්ලේ හිලව්වට ඔහු ඔවුන්ට ආහාර දී පෝෂණය කෙළේ ය. ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු වෙත අවුත්, ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත. අප ද අපේ ගම්බිම් ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතු ද? ආහාර සැපයීමේ හිලව්වට අප ද අපේ ගම්බිම් ද මිලයට ගන්න. එවිට අපි ද, අපගේ ගම්බිම් සමඟ පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත්, ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නැ”යි කී හ. මෙසේ ජෝසෙප්, මිසරයේ ඉඩකඩම් සියල්ල ම පාරාවෝ සඳහා මිලට ගති. මන්ද, සාගතය ඔවුන් කෙරෙහි දරුණු වූ බැවින්, සෑම මිසර වැසියෙකු ම තම ඉඩකඩම් විකුණුවෙන් මුළු රට ම පාරාවෝ සතු විය. තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් ඔහු මිලට නොගත්තේ ය. මන්ද, පූජකයෝ පාරාවෝගෙන් ආධාර මුදලක් ලබමින්, පාරාවෝ ඔවුන්ට දුන් ඒ මුදලින් ජීවත් වූ හ. එබැවින් තමන්ගේ ඉඩකඩම් විකිණීමට ඔවුන්ට සිදු නොවී ය. එවිට ජෝසෙප් ජනයාට කතා කොට, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩකඩම් ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙතේ වැපිරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය. තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ අපේ ජීවිත ආරක්ෂා කෙළෙහි ය. අප ස්වාමියා වන ඔබ හමුවෙහි අපට ප්‍රසාදය ලැබේ වා! අපි ද පාරාවෝගේ වහල්ලු වන්නෙමු”යි කී හ. මෙසේ ජෝසෙප් මිසරයේ දේපළ සම්බන්ධයෙන් අද දක්වා වලංගු වන රජයට පහෙන් පංගුව දීමේ පණත පැනවී ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවී ය. ඉශ්රායෙල් හෙවත් ජාකොබ් මිසර දේශයෙහි ගෝෂෙන් නම් පෙදෙසෙහි වාසය කෙළේ ය. ඔවුන්ට එහි ගම්බිම් අයිති විය. ඔව්හු සඵල ව බොහෝ සෙයින් වැඩි වර්ධනය වූ හ.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 47:13-27