එපීස 4:14-24
එපීස 4:14-24 NRSV
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ. එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න. අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති. විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ. සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී. එබැවින් ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘෂ්ණාවලින් මුළා වී විනාශ වන්නා වූ පරණ ස්වභාවය අහක දමා, ආධ්‍යාත්මික නවතාවයක් ඇති කරගන්න. දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න.





