එපීස 4:1-24
එපීස 4:1-24 NRSV
එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි. සැම විට ම නිහතමානි ව, විනීත ව, ඉවසිලිවන්ත ව සිටින්න; ප්‍රේමයෙන් එකිනෙකා සමඟ පෑහී සිටින්න; ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම, සමඟිකමේ බැම්මෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න. ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය; එක ම සමිඳාණන් වහන්සේත්, එක ම ඇදහිල්ලත්, එක ම බව්තීස්ම-ස්නාපනයත් ය; සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ සිය දීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාදය ප්‍රදානය කර ඇත. ඒ ගැන මෙසේ කියා තිබේ: “උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක.” උන් වහන්සේ නැඟුණ සේකැ යි කීමෙන් කුමක් අදහස් කෙරේ ද? එයින් අදහස් කරන්නේ උන් වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පහත් ම තැන් වලට බැස්ස බව ය. පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය. මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය. මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු. එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ. එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න. අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති. විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ. සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී. එබැවින් ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘෂ්ණාවලින් මුළා වී විනාශ වන්නා වූ පරණ ස්වභාවය අහක දමා, ආධ්‍යාත්මික නවතාවයක් ඇති කරගන්න. දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න.
















