2 වංශාවලියේ 16
16
ආසා රජු බාෂා රජු සමඟ යුද්ධ කිරීම
(1 රාජා 15:17-22)
1ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී ඉශ්රායෙල්හි රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස් ජුදාහි රජු වූ ආසා වෙත කිසිවෙකුට යන්න එන්න ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේ ය. 2එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්, 3“මාගේ පියා ද ඔබේ පියා ද අතරේ තිබුණ පරිදි, මා සහ ඔබ අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි. ඉශ්රායෙල්හි රජු වන බාෂා මාගේ රටින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩ කළ මැනවැ”යි කියා හැරියේ ය.
4එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය. 5බාෂා රජ එය ඇසූ විට, ඔහු රාමා නගරය ගොඩනැඟීමෙන් නැවතී තම වැඩ අත් හිටවී ය. 6එවිට ආසා රජ සියලු ජුදාවරුන් කැඳවාගෙන ගොස්, බාෂා ගොඩනැඟුවා වූ රාමාහි ගල් ද ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබා ද මිශ්පා ද යන නගර ගොඩනැඟුවේ ය.
දිවැසිවර හනානි
7එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය. 8කුෂ්වරු ද ලූබ්වරු ද රථ සහ අසරුවන් මහා රාශියක් ඇති මහා සේනාවක් ව සිටියෝ නොවෙත් ද? එහෙත්, ඔබ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා, උන් වහන්සේ ඔවුන් ඔබ වෙත පාවා දුන් සේක. 9මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය. 10එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.
ආසා රජුගේ පාලනයේ අවසානය
(1 රාජා 15:23-24)
11ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි ද ඉශ්රායෙල්හි ද රජුන්ගේ පොතෙහි ලියා තිබේ. 12ආසා රජකම් කළ තිස්නව වන අවුරුද්දේ දී ඔහුගේ පාදවල රෝගයක් විය; ඒ රෝගය තදබල විය. එහෙත්, ඔහු තමාගේ රෝගයේ දී සමිඳාණන් වහන්සේ නොව වෛද්‍යවරුන් සෙවී ය. 13එහෙත්, ආසා මියගියේ ය. ඔහු මියගියේ, තමා රජ කළ සතළිස්එක් වන අවුරුද්දේ දී ය. 14ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගෙන තිබූ ඔහුගේ ම සොහොන් ගෙයි ඔහු තැන්පත් කළෝ ය. තවද, තෛල සංයෝගකරුගේ ශාස්ත්‍රය අනුව පිළියෙළ කළ නොයෙක් ආලේපනයෙන් සහ සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූ පසු ඔව්හු ඔහුගේ ගෞරවය පිණිස ඉමහත් ගිනිමැලයක් දැල්වූවෝ ය.
Currently Selected:
2 වංශාවලියේ 16: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society