YouVersion Logo
Search Icon

1 රාජාවලියේ 17:7-15

1 රාජාවලියේ 17:7-15 NRSV

ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ, “නුඹ පිටත් වී සීදොන් අසල පිහිටි ශාරෙපත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දීමට එහි සිටින වැන්දඹු ස්ත්‍රියකට අණ කෙළෙමි”යි කීවේ ය. එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය. එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය. එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න. මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් මිහි පිට වැස්ස එවන දවස දක්වා පිටි බඳුන ඉවර වන්නේ නැත; තෙල් කුලාව අඩු වන්නේ නැතැ’ “යි කීවේ ය. ඈ ගොස් එලියා කී හැටියට කළා ය. එසේ ඈ ද ඔහු ද ඇගේ ගෙයි වැසියෝ ද බොහෝ‍ දවස් ඒවා අනුභව කළෝ ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලියේ 17:7-15