YouVersion Logo
Search Icon

ගීතාවලිය 89

89
ගිවිසුමේ කරුණාවල් ගැන ප්‍රශංසා හා යාච්ඤාව ‍ ‍‍‍
එස්රාහිය ඒතාන්ගේ අනුශාසනාවකි.
1 ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.
2මක්නිසාද: කරුණාව සදාකාලේටම පිහිටුවනු ලබන්නේය, ඔබගේ විශ්වාසකම ස්වර්ගයන්හිම ඔබ පිහිටුවනසේකැයි කීයෙමි.
3නුඹේ වංශය සදාකල් ස්ථිර කරන්නෙමි, නුඹේ සිංහාසනය සියලු පරම්පරා වලට පිහිටුවන්නෙමියි කියා
4මාගේ තෝරාගත් තැනැත්තා සමඟ ගිවිසුමක් කෙළෙමි, මාගේ මෙහෙකරුවූ දාවිත්ට දිවුරුම් දුනිමි.
5 ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය;
ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය.
6මක්නිසාද ආකාශයෙහි කවරෙක් ස්වාමීන්ට සමානකළ හැකිද?
බලවතුන්ගේ පුත්‍රයන්ගෙන් කවරෙක් ස්වාමීන්ට සමාන වන්නේද?
7උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
8සේනාවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, යාඃ
නම්වූ ඔබ හා සමාන බලසම්පන්න කෙනෙක් කවරේද?
ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය.
9ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක.
එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක.
10රාහබ් මරනු ලැබූ කෙනෙකු මෙන් කැබලිකොට බින්දසේක;
ඔබගේ බලය නමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවා හැරියසේක.
11ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය.
ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක.
12උතුරත් දකුණත් මැවුවේ ඔබය.
තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.
13ඔබට බලවත් බාහුවක් ඇත්තේය.
ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය.
14ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය.
කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.
15ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය.
ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.
16ඔව්හු දවස මුළුල්ලේම ඔබගේ නාමය ගැන ප්‍රීතිමත්වෙති.
ඔබගේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන උසස් භාවයට පැමිණෙති.
17මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය.
ඔබගේ කරුණාවෙන් අපේ අඟ උසස්වන්නේය.
18මක්නිසාද අපේ පලිහ ස්වාමීන්ටත් අපේ රජ්ජුරුවන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේටත් අයිතිය.
19ඔබගේ ශුද්ධවන්තයන්ට ඔබ දර්ශනයකින් කථාකොට:
උපකාරකිරීමේ භාරය බලවන්තයෙකුට පැවරුවෙමි;
සෙනඟ අතරෙන් තෝරාගත් කෙනෙකු උසස්කෙළෙමි.
20මාගේ මෙහෙකරුවූ දාවිත් සොයාගෙන, මාගේ ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළෙමි.
21මාගේ හස්තය ඔහු සමඟ ස්ථිරවන්නේය;
මාගේ බාහුවද ඔහු ශක්තිමත්කරන්නේය.
22සතුරා ඔහුට පීඩා නොකරන්නේය;
දුෂ්ටකමේ පුත්‍රයා ඔහුට හිංසා නොකරන්නේය.
23ඔහුගේ එදිරිකාරයන් ඔහු ඉදිරියෙහි යටත්කරන්නෙමි, ඔහුට වෛරවන්නන්ට පහරදෙන්නෙමි.
24මාගේ විශ්වාසකමත් මාගේ කරුණාවත් ඔහු සමඟ වන්නේය;
මාගේ නාමයෙන් ඔහුගේ අඟ උසස්වන්නේය.
25ඔහුගේ අත මුහුද පිටත් ඔහුගේ දකුණු අත ගංගා පිටත් තබන්නෙමි.
26ඔහු මට මොරගසා:
ඔබ මාගේ පියාණෝය, මාගේ දෙවියන්වහන්සේය, මාගේ ගැළවීමේ පර්වතයයයි කියන්නේය.
27මමද ඔහු මාගේ කුලුඳුලා කොටද පොළොවේ රජුන්ට උත්තමයා කොට ද තබන්නෙමි.
28මාගේ කරුණාව සදාකල් ඔහු උදෙසා පවත්වන්නෙමි, මාගේ ගිවිසුම ඔහු සමඟ ස්ථිරව පවතින්නේය.
29ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි.
30ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්,
31මාගේ පනත් කඩකොට, මාගේ ආඥාවන් රක්ෂා නොකෙරෙත් නම්,
32ඔවුන්ගේ අපරාධයට ඉපෙලන්ද ඔවුන්ගේ අයුතුකමට පහරවලින්ද දඬුවම්කරන්නෙමි.
33එහෙත් මාගේ කරුණාව ඔහු කෙරෙන් සහමුලින්ම අහක්කර නොගන්නෙමි, මාගේ විශ්වාසකමත් පිරිහෙන්ට නොදෙන්නෙමි.
34මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.
35මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි;
දාවිත්ට බොරු නොකියන්නෙමි;
36ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.
37එය චන්ද්‍රයා මෙන්ද ආකාශයෙහි විශ්වාස සාක්ෂිය මෙන්ද සදාකල් පිහිටුවනු ලබන්නේයයි කීසේක.
38එහෙත් ඔබ පහකොට එපාකළ සේක, ඔබගේ අභිෂේකලත් තැනැත්තා සමඟ උදහස්වූසේක.
39ඔබගේ මෙහෙකරුවාගේ ගිවිසුමට ඔබ පිළිකුල්කළසේක.
ඔහුගේ ඔටුන්න බිම හෙළා දූෂණය කළසේක.
40ඔහුගේ සියලු වැටවල් ඔබ බිඳ හෙළූසේක;
ඔහුගේ බලකොටු ඔබ විනාශ කළසේක.
41මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති.
තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.
42ඔබ ඔහුගේ එදිරිකාරයන්ගේ දකුණත උසස්කළසේක;
ඔහුගේ සියලු සතුරන් ප්‍රීතිකෙරෙවුසේක.
43එසේය, ඔබ ඔහුගේ කඩු මුවාත නැමූසේක, සටනේදී ඔහුට කෙළින් සිටින්ට නුදුන්සේක.
44ඔහුගේ දීප්තිය ඔබ කෙළවරකළසේක, ඔහුගේ සිංහාසනය බිම හෙළූසේක.
45ඔහුගේ යෞවන දවස් ලුහුඬුකොට, ඔහු ලජ්ජාවෙන් වැසූසේක.
46 ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද?
ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙනේද?
47මාගේ කාලය කොපමණ ලුහුඬුදැයි සිහිකළ මැනව.
ඔබ සියලු මනුෂ්‍ය පුත්‍රයන් මැවුවේ කුමන නිෂ්ඵලකමකටද!
48මරණය නොදැක ජීවත්වෙන, ෂෙයෝලේ බලයෙන් ස්වකීය ප්‍රාණය ගළවාගන්න මනුෂ්‍යයා කවරේද?
49ස්වාමිනි, ඔබගේ විශ්වාසකමින් දාවිත්ට දිවුළාවූ ඔබගේ පළමු කරුණාවල් කොයිද?
50ස්වාමිනි, ඔබගේ මෙහෙකරුවන්ට පැමිණි නින්දාව, එනම් සියලු බලවත් මනුෂ්‍ය වර්ගයන්ගෙන් ලැබෙන බර, මාගේ ළයෙහි දරන බව සිහිකළ මැනව.
51 ස්වාමිනි, ඔබගේ සතුරෝ නින්දා කළෝය.
ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ පා සලකුණුවලට නින්දාකළෝය.
52 ස්වාමීන්ට සදාකල් ප්‍රශංසාවේවා.
ආමෙන්, ආමෙන්.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy