ශු. මතෙව් 9:27-38

ශු. මතෙව් 9:27-38 SROV

යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය. උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා ඔබ සැම විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: ඔබ සැමගේ විශ්වාසයේ ප්‍රකාරයට ඔබ සැමට වේවයි කීසේක. ඔවුන්ගේ ඇස් පැහැදුණේය. කිසිවෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක. එහෙත් ඔව්හු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළකළෝය. ඔවුන් පිටත්ව යන අතර යක්ෂාවේශවූ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. යක්ෂයා දුරුකරනු ලැබූ විට ගොළුවා කථාකළේය. එකල සමූහයෝ මවිතව: මෙබන්දක් ඉශ්‍රායෙල්හි කිසිකලෙක දකින්ට ලැබුණේ නැතැයි කීවෝය. නුමුත් පරිසිවරු: මොහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙනයයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක. උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක. එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්නැයි කීසේක.
SROV: Sinhala Revised Old Version
Share